පැන්ෂන් ගිය ලොක්කාට අපූරු සංග‍්‍රහයක්


දරුවන්ගේ නැණ පහස සැලසීම පැවරී සිටි ප‍්‍රධානියකු තිස් වසරක සේවයෙන් විශ‍්‍රාම ගැනීම නිමිත්තෙන් සුහද හමුවක් පැවැත්විණි.

විශ‍්‍රාම යන ප‍්‍රධානියා විසින් සූදානම් කර තිබූ මෙම සුහද හමුවට ඔහුගේ තරාතිරමේ මෙන්ම ඉහළ හා පහළ නිලදරුවන් රැසකට ද ආරාධනා කර තිබිණි.
පිරිසට රස මසවුලෙන් සංග‍්‍රහ කෙරිණ. පිරිස අතරේ විනෝද කතා බහ රැව් පිළිරැව් දෙන්නට විය.

විශ‍්‍රාම ලැබූ ප‍්‍රධානියාගේ සමකාලීනයකු වූ අධ්‍යක්‍ෂවරයකු විශ‍්‍රාමික සගයා හමුවට ගියේය. ඔහු අත කේක්, බිස්කට් සහිත දීසියක් තිබිණ.

”අද විශ‍්‍රාම ගන්නා ඔබට මගෙන් සංග‍්‍රහයක් විස්කෝතුවක්, කේක් කෑල්ලක් හපන්න. අධ්‍යක්‍ෂවරයා” ඉල්ලා සිටියේය.

”අනේ සර්.... මට බිස්කට් කන්න බැහැ” ඔහු කීවේ යටහත් පහත්වය.

”අනේ අනේ වැඩ කරපු තැන් තුනක්ම අපූරුවට කාපු තමුසෙට බිස්කට් එකක් කන එක කජ්ජක් ද” ඇසුවේ පිරිස සිනහ ගන්වමිනි.

ඔහුගේ සේවා කාලය තුළ රාජකාරි කළ ස්ථාන තුනක්ම වසා දමන තත්ත්වයට පත්වූ බව පිරිසට සිහිපත් වූයේ අධ්‍යක්‍ෂවරයාගේ කතාවෙන් පසුවය. විශ‍්‍රාමිකයා සුහද හමුව අවසන් වන තුරුම කිසිවකු හා කතාවෙන් තොරව කල් ගත කරනු ලැබීය.