පාර අයිනේ සුළුදිය පහකළාට ඉත්තෑවකුගෙන් දඬුවමක්
අඳුර වැටෙමින් තිබූ ගොම්මන් වෙලාවේ කට ගොන්නක් බීගෙන කැලෑබද පාරකින් ගමන් කරමින් සිටි මැදිවියේ පුද්ගලයකු පාර අයිනේ සුළු දිය හලන්නට ගොස් යක්ෂ ප‍්‍රහාරයකට ලක්වීමේ පුවතක් ලංකාදීපයට වාර්තා විය.
සිද්ධිය සැකෙවින් මෙසේය.
මහනුවර නගරයට නුදුරු කුඩා ගම්මානයක මෙය සිදුවිය. කුලී වැඩක් කරමින් සිය පවුල නඩත්තු කරන ඔහු වැඩ අවසන් වී හවස් කාලයේ ඇඟපතේ වේදනාවට යැයි කියමින් මඳක් ඇඟ රත්කර ගැනීම සිරිතක් වශයෙන් කරගෙන ආවේය.
පසුගිය දිනෙක ඔහුට වැඩ කරන්නට සිදුවූයේ ගමේ සිට සැතපුම් තිහක් පමණ දුරකය. ඔහු වැඩ අවසන් කර ගමට එනවිට රෑ බෝ වී තිබූ අතර අඳුරේම ඔහු වත්තක් මැදින් වැටී තිබූ කුඩා දෙවැට දිගේ නිවස කරා ගමන් කරන්නට විය. ඔහු මඳක් බීමත්වද සිටි බැවින් ඔහුට ඉවසා ගත නොහැකි මුත‍්‍ර බරක් ඇතිවිය. ඔහු කළේ සිය අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා කළුවරේම පාර අයිනට යාමය. ඔහුට කිසිවක් හිතා ගන්නට වේලාවක් ඉතිරි නොකරම එක්වරම ඔහුගේ කලවා ප‍්‍රදේශයට යක්ෂ ප‍්‍රහාරයක් එල්ල විය. ඔහු ප‍්‍රදේශය දෙවනත් කරමින් කෑ ගසාගෙන දිව යන්නට විය. ඔහු නැවතුණේ නිවසටම දිව ගොස්ය. හති දමමින් දිව එන සිය සැමියා දුටු බිරිඳ බියට පත්ව කරුණු විමසීය. ඔහු කීවේ තමන්ට යකෙක් ගැසූ බවයි. ඔහුගේ සරම ලෙයින් තෙත් වී තිබිණ.
අනතුරුව පරීක්ෂා කිරීමේදී ඔහුගේ කලව ප‍්‍රදේශයේ ඉත්තෑකූරු කිහිපයක්ම දක්නට ලැබිණ.
මොහු සුළු දිය හලන වෙලාවේ එම ස්ථානයේ සැඟව සිටි ඉත්තෑවකුගේ ඇඟට වැටී තිබේ. එයින් කෝප වූ ඉත්තෑවා සිය කූරු විසිකර ගසා ඇති බව පසුව අනාවරණය විය.

