පළමු ශ්‍රේණියට ළමයා දාන්න වළකින් අයැදුම්පතක් ඇවිත්


දෙවසරකට ඉහතදී කඩා ඉවත් කෙරුණු නිවසක තමන් පදිංචි බව කියා දරුවා පාසලට ඇතුළත් කිරීමට ඉල්ලූම් පත‍්‍ර ඉදිරිපත් කිරීමේ සිද්ධියක් ගම්පහ දිසාවේ නගරයක ප‍්‍රසිද්ධ පාසලකින් වාර්තාවේ.

තරගකාරී පාසලකි. නිල ඇඳුම් අඳින පියෙක් එම පාසලට තම දරුවා ඇතුළත් කිරීමට ඉල්ලූම් පත‍්‍ර ඉදිරිපත් කරනු ලැබීය. පසුගියදා එම පාසලේදී දරුවන් ඇතුළත් කරගැනීමට සම්මුඛ පරීක්ෂණය පැවැත්විණි.

ඔහු ඉදිරිපත් කළ ලියවිලි අතර පදිංචි නිවසේ බදු ඔප්පුවද විය. පරීක්ෂක මණ්ඩලයේ නිලධාරියෙක් බදු ඔප්පුව දැඩි පරීක්ෂාවට ලක් කළේය. පස්වසරකට පෙර නිවස බදුගෙන ඇති බව එහි සඳහන් විය. මහත්මයා දැනට පදිංචියත් මෙම නිවසේමද? පරීක්ෂක නිලධාරියා පියාගෙන් විමසුවේය.
ඔව්. ඔව්. අපි ඉන්නේ මේ ගෙයි තමයි පියා පිළිතුරු දුන්නේය.

හොඳයි කමක් නැහැ. මේ ගේ කඩා ඉවත් කරලා දැන් අවුරුදු දෙකකට වැඩියි. දැන් එතන ලොකු වළක් තියෙනවා. එතන පස් පුරවන්නේත් මහත්තමයාමදැයි පරීක්ෂක නිලධාරියා පවසද්දී දැඩි අසීරුතාවකට පත් පියා කිසිත් නොදොඩා නැගිට ගියේය.