මොරගොල්ලාගම සිසිර කැලේගම
සයනයක සුව පහසු මෙට්ටයකට වඩා සිය සැමියා මහ මග හිටගෙන නිදි දෙව් දුවගේ පහස විදීම හමුවේ රාත්‍රී සේවාව සඳහා යාමට සූදානමින් සිටි විවාහක බිරිය දැඩි අසරණතාවයකට පත් පුවතකි.
එය ඇසෙන්නේ ඇතුගල්පුරවරයෙනි. සිද්ධිය මෙසේය.
අඹු සැමි යුවළ රාජ්‍ය ආයතනයක සේවයේ නියැළෙති. ඔවුනට දාව දරුවන් තිදෙනෙකි. ඔවුන්ද විවාහකය. සියලු දෙනා රාජ්‍ය සේවාවේ නිසා විවාහක දරුවෝ මුල් නිවසින් බැහැර වී සිටිති.
මේ තත්වය හමුවේ වියපත් යුවළ පමණක් එහි වාසය කරති. දෙදෙනාම සේවයට යන නිසා බොහෝ විට මෙම නිවස සතියේ දිනවලදී වසා තිබෙන අයුරු දක්නට ලැබේ.
නොසිතු ලෙසට මේ දින කිහිපයේම අනෝරා වැසි පතිත විය. වැසි වැස්සත් දේවකාරියට වඩා රාජකාරියට මුල් තැන දීම දෙදෙනාගේම වගකීම විය.
දිනක් සැමියා වරුවෙන් ආයතනයේ සිට නිවසට පැමිණියේය. ඒ වනවිට සවස් යාමය උදා වී තිබුණි. ඒ අවස්ථාවේදි බිරිය ලහි ලහියේ සූදානම් වූවේ රාත්‍රි සේවය සඳහා යාමටය.
“අනේ වහිනවා. කුඩේ අරගෙන ගිහින් පාරේ ඉඳන් බස් එක එනවාද කියලා පොඩ්ඩක් බලන්න. මං පටාස් ගාලා ඇඳගෙන එන්නම්.” වෙනදාත් එසේ උදව් කරන සැමියාට ඇය කීවාය.
“හරි ඔයා ඇඳගෙන ඇවිත් ආලින්දයේ ඉන්න. මම වෙනදා වාගේම බස් එක එනවා නම් ඔයා නොතෙමන්නට කුඩෙත් අරගෙන බසයට නංවන්නට රැගෙන යන්නට මං එන්නම්. “සැමියා පොරොන්දු විය.
ඇය ආලින්දයේය. සැමියා මහ වැසි මැද කුඩේ ඉහලාගෙන මහ පාරේය. ඒ බස් රථය එනවාදැයි බලන්නට ය.
වැස්ස එන්න එන්නම වැඩි වෙනවා මිස අඩුවීමක් දක්නට නැත. එහෙත් සැමියා කුඩේ ඉහළාගෙන එක ඉරියව්වෙන්ම පාර දෙස බලා සිටියේය. ඇය ඔහු කෙරෙහි විශ්වාසයෙන් යුතුව පසු වුවාය.
ඒ අතර වාරයේ බස් රථය පිම්මේ එතැනින් ඉදිරියට ධාවනය විය.
“ඒයි... ඒයි ...අන්න බස් එක ගියා. තමුසේ දැක්කේ නැද්ද?
ඇය බෑගයේ තිබූ කුඩය ගෙන ඉහලුවාය. පාරේ සිටින සැමියා වෙතට ළං වුවාය. එවිට බිරියට දෙලොව රත් වුණි.
සේවා ආයතනයේ සිට වරුවෙන් පැමිණි සැමියා පදම ඉක්මවා ඇත. මේ නිසා හිටගෙනවත් ඉන්නට බැරි ලෙසට ඔහුට වෙරිය.
යා යුතු අවසන් බසය ගොස් හමාරය. නැවත යාමට බස් නැත. ගෙදර වාහනයක් ඇතත් නිවෙස් හිමියාටද හොඳටම වෙරිය. මං මුළා වූ ඇය සැමියා ගෙට ඇදගෙන විත් දැමුවාය.
“මෙවන් බේබදු මිනිසුන්ට පාර බලන්නට කියු මට ඒවා හොඳ පාඩම් යැයි තමාටම කියූ ඇය කුලී පදනමට ත්‍රි රෝද රථයක් එතැනට ගෙන්වා එහි නැගී සුපුරුදු සේවා ආයතනයකරා පමා වී හෝ යාමට පිටත් වුණාලු.