නෑයට කැපූ කොඩිවිනය තමන්ට්ටම හෙණගෙඩියක් වෙලා


ඔහු දෙනියාය ප‍්‍රදේශයේ මැදිවියේ පුද්ගලයෙකි. අසල්වැසි නිවසේ සිටින ඔහුගේම ඥාතියෝ පිරිසක් සිටිති. ඔවුන් නිතර අඬදබර කර ගත්හ. කාලයත් සමඟ ඔවුහු වෛරක්කරුවන් බවට පත් වූහ. රණ්ඩු කරගත් මොහොතක උඹලට හොඳ වැඩක් කරන්නම් යයි සිතා ගත්තේය.

ඊට පසු දිනම ඔහු පිටත්ව ගියේ හොඳ කට්ටඬියකු මුණ ගැසීමටය. ”කීයක් ගියත් කමක් නෑ මට මේ වැඬේ කෙරෙන්න ඕනෑ” යයි පැවසීය. කට්ටඬියාද වැඬේ බාරගත්තේය. කතා කරගත් පරිදි ”මේ වැඬේ හරියටම හරි, මම කියන විදියට කරන්න” යැයි පැවසූ කට්ටඬියා කුඩා බෝතලයක් ඔහුට දුන්නේය.

කාටත් නොපෙනෙන ලෙස එය තබාගන්නා ලෙසද පැවසුවේය.

උපදෙස් පරිදි නිවෙසට ගිය ඔහු බෝතලය දැමීමට යමක් සෙවීය. අසූවූයේ ලියුම් කවරයකි. බෝතලය එයට දැමීය. එය සඟවා තබාගත්තේය. එම කවරය ඔහුගේ නමට ලිපියක් ඇවිත් තිබූ ලියුම් කවරයක් බවට වැටහීමක් තිබුණේ නැත. රාත‍්‍රිය එළැඹුණි. කාටත් හොර රහසේ බෝතලය බහාලූ කවරය අසල්වැසි වෛරක්කරුගේ ඉඩමේ වළක් හාරා වළ දැමීය.

ටික දිනක් ගතවීය. අසල්වැසියන් නිවසේ අපවිත‍්‍ර ජලය බැසයාමට කාණුවක් කපන්නට විය. කාණුව ටික දුරක් කපන විට ඔවුන්ට ලියුම් කවරයක බහාලූ බෝතලය හමුවිය. සිදුවූ දෙය තේරුම් ගැනීමට ඔවුන්ට වැඩිවෙලා ගියේ නැත. නම ලිපිනය ලියූ ලියුම් කවරය තිබූ නිසා කොඩිවිනය කළ කෙනාද සොයාගැනීමට අපහසු නොවීය. සියලූදෙනා එක්ව බෝතලයත් ලියුම් කවරයත් රැගෙන ඔහු හමුවීමට පැමිණෙනු දුටු ඔහුට දෙවියන් සිහිවිය.