රුපියල් නවයේ ටිකට් පත‍්‍රය වෙනුවෙන් රුපියල් දහසේ නෝට්ටුවක් පෞද්ගලික බස් කොන්දොස්තරවයකුට දීම නිසා කඳුරට ප‍්‍රදේශයේ බස් රථයක පසුගියදා මහත් ගාලගෝට්ටියක් හට ගත්තේය.
සිද්ධිය සැකෙවින් මෙසේය.
එය කඳුරට ප‍්‍රදේශයේ කුඩා නගරයකි. බස් රථ අඩුවෙන් ධාවනය වන නිසා ධාවනය වන බස් රථ කිහිපය නිතර මගීන්ගෙන් පිරී පවතී. පසුගිය දිනෙක මෙම මාර්ගයේ ධාවනය වන එක් පෞද්ගලික බස් රථයකට මැදි වියේ පුද්ගලයෙක් ගොඩ විය.
බස් රථයට නැගුණු ඔහු ”මල්ලි නවයේ එකක්” යැයි කියමින් රුපියල් දාහේ නෝට්ටුවක් කොන්දොස්තර මහතා වෙත දික් කළේය. එම රුපියල් දහස දුටු කොන්දොස්තරවරයාට කර කියා ගත හැකි දෙයක් නොවීය.
”මහත්තයා රුපියල් නවයට දාහක් මාරු කරන්න කොහෙද තියෙන්නේ, සිල්ලරවලින් රුපියල් නවයක් දෙන්න” යැයි ඉල්ලීය. ”සිල්ලර නෑනේ, තියෙනව නම් දෙනවනේ. මේකෙන් මාරු කරල ගන්න” ආදී වශයෙන් මගියා කියද්දී දෙන්නා අතර වාග් ප‍්‍රහාරය එන්න එන්නම වැඩි වන්නට විය. මේ අතරතුර අදාළ මගියා බසයෙන් බැසිය යුතු ස්ථානයත් ළං විය. ”මං ඔය ඉස්සරහ බහිනව, ඉක්මනට ඉතිරි සල්ලි දෙන්න” යැයි නැවතත් ඔහු ඉල්ලීය. රුපියල් දාහේ නෝට්ටුව අතේ තියාගෙන සිටින කොන්දොස්තරවරයා සතුව ඔහුට ඉතිරි මුදල් දෙන්නට තරම් මුදලක් නැත. මගියා ළඟ ද රුපියල් නවයක් දෙන්න සිල්ලර මුදල් නැත. මෙම උභතෝකෝටික ප‍්‍රශ්නය විසඳීමට ඉදිරිපත් වූයේ බස් රථයේ ගමන් කළ මගියෙකි. ඔහු මගියාගේ ටිකට් පතේ ගාස්තුව වන රුපියල් නවය ගෙවා සිද්ධිය සමථයකට පත් කළේය.

