(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)
ගමනක් ගිය නව යුවළක් ත්රිරෝද රථය ගමනාන්තයට ගිය පසු ගාස්තුව රැගෙන ඉක්මනින් එන බව පවසා රියැදුරා මුලා කර පලා ගොස් තිබූ සිද්ධියක් කොළඹට ආසන්න ප්රදේශයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
මේ දිනවල කොරෝනා නිසා නගරයේ සිටින කුලී රථවලට කුලී ගමන් අඩු වී තිබේ. ත්රිරෝදකරුවන්ගේ ආදායම පහත වැටී ඇත. දුර ගමනක් යාමට කතා කරන්නේ කව්දැයි බලමින් රථගාල්වලට වී බලා සිටිති. මේ අතරේ නගරයේ රථ ගාලක් වෙත පැමිණි අලුත් ජෝඩුවක් රියැදුරකුට කතා කර මල්ලි අපට දුර හයර් එකක් යන්න පුළුවන්ද අසා ඇත.
ඒ අසා මහත් සතුටට පත් රියදුරා ගමන පිටත්ව ඇත. ත්රිරෝද රථයේ සවිකර තිබූ මීටරේ රුපියල් දහස සටහන් වනවාත් එක්කම පාලමක් පෙන්වා ඒ අසල නවත්වන ලෙස උපදෙස් දී ඇත. පසුව රථයෙන් බැසගත් ජෝඩුව පොඩ්ඩක් ඉන්න අපි ඉක්මනට එනවා. සමහර විට ආපසු යන්නත් වෙයි කියා තිබේ.
සැනසුම් සුසුම් හෙළු රියදුරා පැයකටත් වඩා වැඩි කාලයක් බලා සිටියත් බැස ගිය ජෝඩුව නැවත පැමිණ නැත. තමන් උගුලකට හසුවූ බව දැන ගත් රියදුරා ඔවුන් ගිය දෙසට ගොස් විපරම් කළ බැලුවත් සොයාගත නොවූ හෙයින් ආපසු හැරී ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩක් වුණේ මට කියා හිතමින් ආපසු ගියාලු.