(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
නිවෙසකට පැමිණි නාගයකු සාලයේ කැසට් යන්ත්‍රයක් අසල තබා තිබූ බෆල් එකක් ඇතුළට රිංගාගැනීම නිසා බෆල් එක කඩා නාගයා ඉවතට ගැනීමට සිදුවීමේ පුවතක් පොල්පිතිගම අවට ග්‍රාමයෙන් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
ඉකුත් 30 වැනිදා සවස් යාමයේ නිවෙසේ කාමරයක නාගයකු සිටින බව නිවෙස් හිමියා දැක තිබේ.
පසුව නිවෙස් හිමියා අවට අයගේ සහයෝගය ඇතිව නාගයා කාමරයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.
ඒ අවස්ථාවේ දී නාගයා කාමරයේ අහු මුලු අස්සට රිංගා ගැනීම නිසා රැස්ව සිටි පිරිසට කාමරයක තිබු බඩු මුට්ටු එළියට ඇද දැමීමට සිදු වී තිබේ. ඒ අනුව නාගයා කාමරයෙන් එළියට ගැනීමත් සමඟම සාලයට පැමිණි නාගයා රූපවාහිනිය හා කැසට් යන්ත්‍රය තබා ඇති මේසය අසලට රිංගා ගෙන ඇත.
නාගයා ඉවත් කිරීමට කටයුතු කිරීම හෝ පහර දීමට ගියහොත් මේසය මත තිබෙන වටිනා භාණ්ඩවලට හානියක් විය හැකි බැවින් ඔවුන් නාගයා නිදහසේ එළියට එන තෙක් ඒ දෙස බලා හිඳිනා අතරවාරයේ නාගයා කැසට් යන්ත්‍රය අසල තිබූ බෆල් එකේ ශබ්දය පිටවීමට වෙන් කර ඇති සිදුර අතරින් ඇතුළට රිංගා ගත්තේය.
ඒ අනුව පිරිස් ඒකරාශීවී මේසය මත තිබෙන දේවල් ද ආරක්ෂාකාරීව එළියට දැමීමට කටයුතු කළහ.
ඉන් අනතුරුව නාගයා ඉන්නවා යැයි කියූ බෆල් එක ඉවත ගෙන පරීක්ෂා කර ඇතත් එවැනි සතෙකු එහි නොසිටින බවට බොහොමයක් දෙනා නිගමනය කර ඇත.
එහෙත් සතා එහි සිටින බවට සක් සුදක් සේ එය ඇසින් දුටු තරුණයා පැවසීම නිසා නිවෙස් හිමියා බෆල් එක කපා හෝ සැකය දුරු කර ගැනීමට කටයුතු කළේය.
බෆල් එකේ සිදුර රෙදි කැබැල්ලක් දමා සිර කර අනිත් පැත්ත හරවා එහි ආවරණය කර තිබු කාඩ් බෝඩ් කැබැල්ල කපා ඉවත් කර ඇතුළත පරික්ෂා කිරීමේ දී ඇතුලේ ස්පීකරය වටා නාගයා එතී සිටින අයුරු දැක ගැනීමෙන් රැස්ව සිටි පිරිස විමතියට පත්වූහ.
පැය ගණනක මෙහෙයුමකින් පසු නාගයා සොයා ගත් නමුත් සතා නොමරා බෆල් කොටස පොහොර උරයක දමාගෙන ගොස් පාලු වනාන්තර පෙදෙසකට නාගයා මුදා හැරීමට පිරිස එහිදී කටයුතු කර තිබේ.
මෙම සිද්ධියෙන් ඉතා වටිනා බෆල් එකට හානි සිදු වී තිබෙන බව නිවෙස් හිමියා පැවසීය.