නම අමතක වෙනවාට අපූරු උපදේශයක්


සුනිල් ආයතනයක සේවය කරනා ආරක්ෂක නිලධාරියෙකි. දිනක් සංචාරක නිලධාරියා එම ආයතනයට පැමිණ ”මෙහෙ ඔෆීස් ස්ටාෆ් එක කී දෙනෙක් දැයි” විමසීය.

”හතළිහක් ඉන්නවා සර්” සුනිල් පැවැසීය. ”කී දෙනෙක්ගේ නම් දන්නවා දැයි” විමසූ විට ඔහු පැවැසුවේ ”දහ දෙනෙක්ගේ විතර” යනුවෙනි. ”දැන් ඔයා ඇවිල්ලා මාස දෙකකටත් වැඩියි නේද?” සංචාරක නිලධාරියා ඇසූ විට ”මට එයාලගේ නම් අමතක වෙනවා” හෙතෙම පැවැසීය.

”නම් මතක තියා ගන්න ක‍්‍රමයක් මම කියන්නම්. කොළයක් ගන්න. මිස්ලගේ සර්ලගේ හැඩය, උස මහත යද්දී එද්දී බලා ගන්න.”

”කෙට්ටු උස මිස් කෙනෙක් නම්, කොළේ ලියලා, එයාගේ නම අපේ ගාඞ් කෙනෙක්ගෙන් අහලා ලියා ගන්න. සුදුයි කොටයි නම්, ඒ විදිහට ලියලා එතනින් නම ලියා ගන්න. අහිංසකයි කියලා හිතෙන මිස් කෙනෙක්ට ‘අහිංසකාවි’ කියලා ලිව්වත් කමක් නැහැ. මහත්තුරුන්ටත් එහෙමයි. නළුවකුගේ මුහුණ තියෙන කෙනෙක් නම්, නළුවගේ නම ලියලා එතන ඒ මහත්තයාගේ නම ලියා ගන්න. බඩ තියෙන කෙනෙක් දැක්කොත් ඩෝලේ වගේ කියලා නම ලියා ගන්න.” එවිට ආරක්ෂක නිලධාරියා ”එක වගේ බඩ තියෙන දෙන්නෙක් හිටියොත්?” යැයි ඇසීය. ”එතකොට තීරණය ඔයා අතේ. රවුම් නම් රවුම් බඩ කියලා ලියා ගන්න. බෝලේ වගේ නම් ඒ විදිහට ලියා ගන්න. හැබැයි කාටවත් ඔය කොළේ අහුවෙන්න තියන්න එපා.” සංචාරක නිලධාරියා පිටව ගියේය.

දැන් මෙම ආරක්ෂක නිලධාරියා ආයතනයේ නිලධාරීන් ඈත සිටම හඳුනන බව කොළඹ නගරයෙන් වාර්තා වේ.