දොස්තරගෙ ලියුමෙන් ලෙඩේ සනීප වෙලා


මොරවක් කෝරළේ වැවිලිකරුවකු සමාජ ශාලා සාමාජිකයෙක් තම මිතුරු වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගන්නට තකහනියක් ගාල්ලට පැමිණියේය.


මිතුරාව පරීක්ෂා කර බෙහෙත් කිහිපයක් ලියා දුන් වෛද්‍යවරයා සති දෙකකින් ආපසු එන්නට කියා තම මිතුරාට කීවේ අවශ්‍ය වුවහොත් තව දුරටත් බෙහෙත් නියම කිරීමටය.


සති දෙකක් ඉක්ම ගියමුත් මිතුරු වැවිලිකරුවා වෛද්‍යවරයා හමුවට නොආවේය. හනික ඇවිත් තමා හමුවන ලෙස දන්වා වෛද්‍යවරයා මිතුරු වැවිලිකරුවාට ලිපියක් ලියා යැව්වේය.


එහෙත් වැවිලිකරුවා තම මිතුරු වෛද්‍යවරයා හමුවට නොආවේය. 


තම මිතුරා ගැන බොහෝ සෙයින් සැලකිලිමත් වූ වෛද්‍යවරයා ඉරිදා දිනයේ උදෑසනම මිතුරු වැවිලිකරුවාගේ වතුයායට ගොස් ඔහු හමුවූයේය. වෛද්‍යවරයා වතුබංගලාවට පිවිසෙන විට වැවිලිකාර මිතුරා ඉතාමත් සතුටින් තම දරුවන් සමග ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටියේය. කිසිදු අසනීපයක් මිතුරා ඇති බවක් දොස්තර මිතුරාට නොපෙනිණි. ඒ තරම් ක්‍රියාශීලීව ඔහු දරුවන්ට පන්දු යැව්වේය.


‘‘හලෝ ඩොක්ටර්’’ තම මිතුරා දුටු සැනින් සෙල්ලම් කරමින් සිටි වැවිලිකරු හඬ නැගු​වේය. දෙවැනියට ලියල එවාපු බෙහෙත් ටිකෙන් මට හොඳටම සනීප වුණා. දැන් මං බඹරෙක් වාගේ සනීපයිනේ.


‘‘මොකක්ද දෙවැනියට ලියලා එවපු බෙහෙත් ටික.’’ පුදුමයට පත් වෛද්‍යවරයා ඇසු​වේය.


‘‘ඇයි මට තැපෑලෙන් එවලා තිබුණෙ.’’


‘‘උඹ මොන මෝඩයෙක්ද ඒක බෙහෙත් වට්ටෝරුවක් යැ ලියුමක්නෙ. මා ලියුම එව්වෙ ‘බෙහෙත් නොගෙන ඉන්න එපා ඉක්මනට ඇවිත් මාව හමුවෙන්න’ කියන්නයි.’’


‘‘මොනවා’’ වැවිලිකරුවා කෑගැසුවේය. ‘මොන ඉලව්වක් ද? මම හිතුව ඒක බෙහෙත් ලැයිස්තුවක් කියලා. කාටද පුළුවන් උඹේ අකුරු කියවන්න. මං ඒක ෆාමසියට දුන්නම මට කරල් වගයක් දුන්නා දවස් දෙකයි එව්වා බිව්වේ ලෙඩේ කොහේ ගියාද නෑ.’’