දොඩම් පලදාව ගන්න ගිහින් ඇඳිවතත් අහිමි කරගෙන


මේ එක් එක් කෙනා විවිධ නම්වලින් හඳුන්වන ගමකි. ඇතැමුන් ගෞරවය පිණිසත් ඇතැමුන් පෞරාණිකත්වය උදෙසාත් හඳුන්වන ගමේ නම සේම ගොවිතැන් බතින්ද පිරිපුන් ප‍්‍රදේශයකි.


කුඹුරේ වැටට සිටවූ පැල ඉනි පවා එළවළු භෝග වැල් වලින් පිරෙද්දී ඒ පැත්තේ එක් අයකුගේ භෝග මදක් නිසරු බවින් යුතු විය.
එය ඔහුට මහත් සිත්තැවුලකි. කියූ කියූ තැන් වලින් උපෙදස් ප‍්‍රතිකාර ලබා භාගයක් පමණ සාර්ථකත්වයක් ලැබුවද දන්නා කියන ක‍්‍රමයට හිටවූ දොඩම් ගස්වල ගෙඩි හට නොගත්තේය.


කල වයසත් හරිය ගෙඩි එනවා නම් ගසේ අතු බරවීමට තරම් මේ වනවිට ගෙඩි හටගෙන තිබිය යුතුය.මෙසේ කනස්සල්ලෙන් පසුවෙද්දී දිනක් උදෑසන අසල්වැසියකුගෙන් කෙම් උපදේශයක් ලැබුණි.
වැසි ඇති දිනක රාත‍්‍රියක කතා නොකර නිරුවතින් ගොස් මෝල් ගසකින් ගසට පහර දෙන්න හරියටම හරි.පැරැන්නකුගේ එම අදහස ඉසමුදුනින් පිළිගත් නූතනයේ පසුවන මොහු වැසි ඇති රාත‍්‍රියක් උදාවෙනතුරු බලා සිටියේය.


”අද සන්ධ්‍යා කාලයේ හෝ රාති‍්‍ර කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ තිබේ”
උදෑසන ගුවන් විදුලියේ එසේ ඇසුණු කාලගුණ වාර්තාව ඔහුට සතුට ගෙන දෙන්නක් විය.
රාත‍්‍රිය ළංවෙද්දීම වැසි බීරම ඇතිවී කී සේම ගිගුරුම් සහිත වැසි ඇදහැලෙන්නට විය.
ඒත් සමගම කෙම් පිළිවෙත සිහියට ගත්තේය.


එහෙත් ගැටලූවකි. එදින රාත‍්‍රිය නිවැසියන්ට අමතරව හිතවතුන් පිරිසක් ද පැමිණි දිනයකි.
ඒ එසේ වුවත් කාලයක සිට බලා සිටි කෙම කළ යුතුය.
ඔහු වහා මුළුතැන්ගෙට ගියේය. මෝල් ගස අතට ගත්තේය. එළිමහනේ විදුලි පහන් නිවා දැමුවේය.
ඇඳ සිටි වස්ත‍්‍රය උනා දමා දොර ඇරගෙන එළියට බැස්සේය.


දොඩම් ගස අසලට වේගයෙන් දිව යද්දීම දඩාස් යන හඬක් ඇසුණි. ඒ මුළුතැන්ගෙයි දොර වැසෙන හඬය.
ඒත් සමගම එදෙසින් මෙලෙසද ඇසුණි. කවුද මේ දොරවල් ඇරලා දාලා තියෙන්නේ. සත්තුත් රිංගනවා. මේ වහින වෙලාවේ.
ආ.... වේගයෙන් දොඩම් ගසට පහරදීම කෙසේ වෙතත් ඇඳි වත නොමැතිව කුමක් කරන්නේදැයි ඔහුට සිතාගත නොහැකි විය.
ඒත් සමගම කළුවරේ ඔහුට සොයාගත හැකි වූ යේ  ළිඳ අසල වැලක තිබූ බිරිඳගේ චීත්තයකි.