දරුවා ජනපි‍්‍රය පාසලට දාන්න මවුපියෝ නගරයේ කැලේක පදිංචිවෙලා


(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නගරය සමීපයේ පිහිටි දිගු කලක් තිස්සේ වනවැදුණු බිම්කඩක ඇති කඩා වැටුණු ලෑලි මඩුවකට විදුලිය සැපයුමද රැගෙන එහි පදිංචි බවට ලිපි ලේඛන ඉදිරිපත්කර ඒ ආසන්නයේ පිහිටි ප‍්‍රධාන පෙළේ පාසලකට දරුවා ඇතුළත් කර ගැනීමට මවක ගත් උත්සාහයක් ව්‍යර්ථවීමේ සිද්ධියක් ගම්පහ දිසාවේ ප‍්‍රධානපෙළේ නගරයකින් වාර්තාවේ.


පළමුවැනි පන්තියට තම දරුවන් අතුළත් කරගන්නට මවුපියන් විවිධ උප්පරවැට්ටි දමන ජනප‍්‍රිය පාසලකි. ලබන වසර සඳහාත් ඉල්ලූම්පත් ගොන්නක් ලැබුණු නිසා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම පසුගියදා සිදුවිය.


එක් මවක පියා සමඟ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඉදිරියේ පෙනී සිටියේ ලිපි ලේඛන රැුසක්ද ඉදිරිපත් කරමිනි. මේ අය පදිංචි බව කියන තැන මේ දරුවාගේ මාපියන්ට අයත් එකක් නොවන බවත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට රහසක් නොවීය. ඒ නිසාම ඔවුන් විවිධ ලිපි ඉල්ලා සිටියත් ඒ සියල්ල ඉදිරිපත් කරන්නට ඔවුන් සමත්වූහ. අවසානයේ විදුලි බිල්පත් එහෙම ඇතිදැයි එක් සාමාජිකයක් විමසුවේය. එයද ඉදිරිපත් කරන්නට මේ මවුපියන් සමත්වූයෙන් අපි ස්ථාන පරීක්ෂණයක් කරන්න එනවායි දැනුම් දෙනු ලැබීය.


එදිනම නිලධාරීන් පිරිසක් මේ තැන බලන්නට හොර රහසේම ගියෝය. ඔවුන් කිසිත් නොදන්නා පරිදි ලෑලි මඩුව දෙස බලමින් යද්දී දරුවාගේ මවත් පියත් ඒ අවට කලක් තිස්සේ හැදී වැඩුණු වන රොද ඉවත් කිරීමේ නිරර්ථක උත්සාහයක යෙදී සිටිනු දක්නට ලැබිණි.


පසුව නිලධාරීහු ඔව්න් හමුවට ගියෝය. වසර ගණනකින්වත් මේ බිම් කඩ පිරිසිදු කර ඇති තැනක් නොවන බව පසක් විය. කිසිදු ගෘහ භාණ්ඩයක් හෝ වෙනත් උපකරණයක්ද නොවීය. දිරා ගිය ලෑලි පමණක් අවට විසිර ඇති බව දැකිය හැකිය.


එක් නිලධාරියෙක් ඔයාලගේ පදිංචි ස්ථානය ඉතාමත් හොඳ තැනක්යැයි කියද්දී මේ මවත් පියාත් නිශ්ශබ්දව සිටියේ කළ හැකි දෙයක් නැති නිසාය. එදා සවසම ඔවුහු නගරයෙන් දුරස්ව පිහිටි ඔවුන්ගේ ගමේ පාසලට දරුවා ඇතුළත් කරන තීරණයකට එළඹ ඇතැයි දැන ගන්නට ලැබිණි.