තේමා ගීතය මාරු වී සංවිධායකයන්ගේ රෙදි ගැලවිලා


පෝද්දල සරත් ආනන්ද ගමගේ


පසුගියදා පැවැත්වූ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් ඇමතීම සඳහා ජනප්‍රිය දේශපාලන පක්ෂයක උපප්‍රධාන නායකයකු පැමිණෙන අවස්ථාවේ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් නිර්මාණය කළ ගීතය වෙනුවට වෙනත් අපේක්ෂකයකුගේ ගීතයක් ප්‍රචාරය වීමෙන් එම කථිකයා ඇතුළු සංවිධායකයන් අපහසුතාවට පත්වූ පුවතක් දකුණු පළාතේ ප්‍රසිද්ධ නගරයකින් වාර්තා වේ. 
එම පක්ෂයේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන රටේ ජනප්‍රිතම කථිකයකු සහභාගීවීමට නියමිතව තිබූ මෙම රැලිය මහත් උත්කර්ෂවත් ලෙස සංවිධානය කිරීමට සංවිධායකයන් මහත් වෙහෙසක් ගෙන තිබිණි. ඒ නිසා එහි ශබ්ද විකාශන කටයුතු පවරා තිබුණේ ද ප්‍රදේශයේ ජනප්‍රිය ශබ්ද විකාශන උපකරණ ලබාදෙන ජනප්‍රිය ආයතනයකටය.
රැලිය ආරම්භ කිරීමට කථිකයා පැමිණීමට මොහොතකට කලින් එහි සංවිධායකයකු ශබ්දවාහිනී යන්ත්‍ර ක්‍රියාකරු ළඟට පැමිණ”‍අපේ සින්දුව තියෙන්නෙ මේ පෙන් එකේ. සහෝදරය එනකොට ඒ සින්දුව දාන්න”‍ යැයි කියමින් ගීතය අඩංගු පෙන් එක ඔහුට ලබාදී ඇත. ”‍ඒ සිංදුව විතරද තියෙන්නෙ”‍ කියමින් ඔහු විමසනවිට ‘‘ඔව්! ඔව්! ඒක තමයි තියෙන්නෙ”‍ කියමින් සංවිධායක එතැනින් ඉවත්වී ඇත.


ඊට මොහොතකට පසු කථිකයා පැමිණ ඇත. ඒ සමගම ගීතය වාදනය වීම නිසා ගීතයට ගරු කිරීමට සියලු‍ දෙනා නැගී සිට ඇති අතර වාදනය වී ඇත්තේ විරුද්ධ අපේක්ෂකයාගේ ජනප්‍රිය ගීතයයි. එම සිදුවීමෙන් සියලු‍ දෙනාම තුෂ්නිම්භූතවී ඇති අතර සංවිධායකයෙකු පැමිණ ශබ්ද විකාශනකරුට බැණ වැදී ගීතය නතර කර ඇත.
පසුව ගීතය නොමැතිව රැස්වීම පවත්වා ඇත. සංවිධායකයන් ශබ්ද විකාශනකරුට දෝෂාරෝපණය කළද ඔහුට අවසන් මොහොතේ පෙන් එක ලබාදීම නිසා කලින් වාදනය කර ගීතය තෝරා ගැනීමට නොහැකිවී ඇති බව තහවුරු වී ඇත.
එම ප්‍රදේශය, එම පක්ෂය හා කථිකයාගේ නම කියමින්  ‘කොහොම ද රැස්වීම’ කියා එම පක්ෂයේ ක්‍රියාකාරීන්ගෙන් විමසන විට මව්පියන් සිහිකරන ද බවද තතු දන්නෝ පවසති.