තම මිතුරකු අතමාරුවට ඉල්ලා ගත් ණය මුදලක් ආපසු ලබාගනු පිණිස ඔහුගේ නිවෙසට ගොස් මුදල ලබා ගැනීමට අත දිගු කරද්දී මිතුරාගේ නිවසේ ඇති කරන බල්ලෙකු පැමිණ මුදල්ද සමග මිතුරාගේ අත සපා කෑ බව කියවෙන පුවතක් වියලූවේ ගම්මානයකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
ඔවුහු ගජ මිතුරෝය. පසුගිය දිනෙක හදිසි මුදල් අවශ්‍යතාවක් ඇති වී එක් මිතුරකු එය පිරිමසා ගත්තේ අනෙක් මිතුරාගෙන් එම මුදල අතමාරුවට ඉල්ලා ගනිමිනි. දින කීපයකට පසුවත් අතමාරුවට ගත් මුදල නොලැබුණු නිසා මුදල් දුන් මිතුරා අනෙක් මිතුරා සොයාගෙන ගියේ එම මුදල් ඉල්ලා ගැනීමේ අටියෙනි.
විවේකයක් නොලද නිසා මුදල ගෙනවිත් දීම අතපසු වූ බව පැවැසූ මිතුරා නිවෙස තුළට ගොස් එම මුදල ගෙනවිත් තම මිතුරා අත තැබුවේ ඔහුට බොහෝ සේ ස්තුති කරමිනි.
කෙසේ වෙතත් මිතුරාගෙන් මුදල් අතට ගන්නවාත් සමග අතට පැන්නේ දැවැන්ත කලූ බල්ලෙකි.
මුදල් ගොන්නත් සමග මිතුරාගේ අත සපා කෑ බල්ලා යළිත් මහ හඬින් බුරන්නට වූයේ මිතුරා තව තවත් භීතියට පත් කරමිනි.
”අපේ බල්ලා කැමැති නෑ ගෙදර කිසිම දෙයක් පිට අයට දෙනවට” ඒකයි ඔය හැපුවේ යැයි මිතුරාගේ බිරිඳ ඇඟටපතට නොදැනී පැවසුවේ බල්ලා පිළිබඳ වර්ණනාවක්ද කරමිනි.
කෙසේ වෙතත් මිතුරාට මුදල් ණයට දුන් ඔහුට දැන් දින කීපයකට වරක් රෝහලට ගොස් පිස්සු බලූ රෝගය වැළක්වීමට දෙන එන්නත් ලබාගන්නට සිදුව ඇත.

