ගංජා සුරුට්ටුවක් පාලමක් කඩා දමයි


නිවෙසට යන මාර්ගයේ ඇති පාලම කඩාවැටී ඇතැයි සිතා කිලේමීටර් හයක් පමණ දුර වෙනත් මාර්ගයක් ඔස්සේ පයින්ම නිවෙසට ගිය ගංජා පානය කළ පුද්ගලයකු පිළිබඳව අම්පාර ප‍්‍රදේශයේ ගමකින් වාර්තා විය.

ඔහු දරුවන් තිදෙනකුගේ පියෙකි. හවසට ගංජා සුරුට්ටුවක රස බලන්නේ ඇගේපතේ අමාරුව යන්නටය. එදින ද ඔහු ගංජා සුරුට්ටුවක පිහිට පැතූයේ ඒ නිසාය. වෙනදාටත් වඩා සුරුට්ටුව සැර විය. ඔහු මිතුරන්ට සමුදී නිවෙසට ඒමට පිටත් විය. පැමිණියේ මද දුරකි. නිවෙසට ඒමට ඇති මාර්ගයේ ඇති මහ ඇළ හරහා ඉදිකර තිබූ පාලම කඩාවැටී ඇති බව දුටුවේය.

දැන් කළයුතු දෙයක් නොමැත. කෙසේ හෝ නිවෙසට ද යා යුතුය. මදක් කල්පනා කළ ඔහු ආපසු හැරිණි. කිලෝමීටර හයක් පමණ දුර වටරවුම් පාරකින් නිවෙසට යාමට ගමන් ඇරැඹීය. මෙසේ පයින් ගමන් කරද්දී කිහිප දෙනකුද හමුවිය. ඔවුන්ටද පාලම කඩාවැටී ඇති බව කීය.

පාලම කඩා වැටුණු පුවත ගම පුරා ප‍්‍රචාරය විය. සිද්ධිය සැලවීමත් සමග ගම්වාසීහු පාලම අසලට පැමිණියහ. නමුත් පාලමට කිසිදු අපදාවක් සිදුවී නොතිබුණි.
ගම්වාසීන්ට සිදුවූ දෙය අවබෝධ කර ගැනීමට හැකිවිය. හොඳට ඇති පාලම් කැඩුණු පාලම් කිරීමේ හැකියාව ගංජා සුරුට්ටුවට ඇති බවව ඔහු යන එන තැන්වලදී ඔහුටද දැන් ඇසේ. ඔහු ඒ නොඇසුණා සේ සිටී.