(පොල්ගස්ඕවිට එස්. වික්රමආරච්චි )
කොණ්ඩය කපද්දී කරණවෑමියාගේ අතින් වැරදීමෙන් සිය මුව ආවරණයේ පටිය කතුරට කැපී යාම නිසා උරණ වූ පුද්ගලයකු කොණ්ඩය කැපීමේ ගාස්තුවෙන් අඩක් අඩු කර මුදල් ගෙවූ පුවතක් පසුගියදා අගනුවරට ආසන්න ප්රදේශයකින් අසන්නට ලැබිණි.
ඔහු අවුරුදු හැත්තෑවක පමණ වයස්ගත පුද්ගලයෙකි. දක්ෂ ගොවියෙකි. අවුරුදු හැත්තෑවක් පමණ වුවද එතරම් මහලු බවක් ඔහු වෙතින් දිස් නොවේ.
හොඳ සමාජසේවකයකු වශයෙන් ප්රදේශයේ නමක් දිනා සිටින ඔහු කිසියම් වැරැද්දක් දුටුවහොත් ඊට එරෙහිව නොබියව නැගී සිටින්නෙකි.
කෙසේවෙතත් කොරෝනා දෙවැනි රැල්ල ආරම්භවීමෙන් පසු ඔහු සිය කොණ්ඩය කප්පවා ගැනීමට යාම දිනෙන් දින කල්දැම්මේ වැඩි කල් නොගොස් වසංගත තත්ත්වය අවසන් වේයැයි බලාපොරොත්තු ඇතිවය.
එහෙත් තත්ත්වය එන්න එන්නම බරපතළ වෙද්දී කොණ්ඩයද උරහිස තෙක් වැවිණි. කොණ්ඩය කපා ගන්නා ලෙස බිරිඳ සහ දරුවන්ද ඇවිටිලි කළ නිසා මිල අධික අලුත්ම මුව ආවරණයක්ද ගෙන්වාගෙන එය පැළඳගත් ඔහු බාබර් සාප්පුවකට ගොඩ වැදුණේය.
බාබර් සාප්පුවේ සවිකර ඇති රූපවාහිනී යන්ත්රයේ විකාශය වෙමින් තිබූ චිත්රපටය දෙස වරින්වර ඇස යොමු කරමින් සිය රාජකාරිය ඉටුකළ කරණවෑමියාගේ කතුරට ඔහුගේ මුව වැස්මේ පටිය කැපී ගියේය .
ඔහුට යකා නැග්ගේය. දෙදෙනා අතර සුළු වචන හුවමාරුවක්ද සිදුවිය.
චිත්රපටි බලමින් කොණ්ඩය කැපීම නිසා මෙය සිදුවූ බව ඔහුගේ චෝදනාව විය.
එම චෝදනාව ප්රතික්ෂේප කළ කරණවෑමියා කියා සිටියේ අධික ලෙස කොණ්ඩය වැවී තිබූ නිසා තමන් අතින් එම වැරැද්ද සිදුවූ බවය.
කෙසේ වෙතත් කොණ්ඩය කපා අවසන්වූ පසු කරණවෑමියාට දඬුවමක් වශයෙන් ගාස්තුවෙන් අඩක් ගෙවා දැමූ මහත්තයා ගෙදර ගියේය.