පාසල් සේවා බස් රථයක රියැදුරකු වූ ඔහු පසුගියදා පාසල් දරුවන් පාසලෙන් ගෙන ඒම ප‍්‍රමාදවීම නිසා තරමක වේගයෙන් වෑන් රථය පදවාගෙන ගිය අතර මාර්ග නීති නොතකා යන ආකාරය නගරයේ සිටි පොලිස් නිලධාරියකුගේ උකුසු ඇසට ලක්විය.
වහාම රථය නතර කිරීමට සංඥා කළ ඔහු දඩ කොළයක් ලියා දුන්නේය. වරද පිළිබඳව ලජ්ජාවට පත් රියැදුරු දඩ කොළය සාක්කුවේ දමා ගත්තේ පසුදාම පොලීසියට ගොස් දඩය ගෙවීමටය. ගෙදර විත් දඩ කොළය දෙස බැලූ ඔහුට තරු පෙණින. එහි වූයේ ආරක්ෂිත හිස් වැසුම පළඳා නොසිටීම නිසා දඩ ගසන බවකි.
පසුවදා මේ පිළිබඳව අදාළ පොලීසියට දැන්වූ විට දඩ කොළය ලියූ නිලධාරියා ලකුණු කරන කොට මට කොටුව පැටලිලා කියා තම කනගාටුව පළ කොට සුළු දඩයක් ගසා ඔහු නිදහස් කළාලූ. සබරගමුව පළාතෙන් ඇසුණු පුවතකි.

