කේළම අතේ පත්තු වී කෙහෙවලු‍ පටලවාගෙන


කරන්දෙණිය එම්. සුසිල් පියන්ත


කේළම අතේ පත්තුවී දෙ නෑනෝ කෙහෙවලු‍ පටලවාගත් අපුරු කතාන්දරයක් ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
දෙනෑනෝ පණට පණ මෙනි. ඒ පිටිනි. ඇතුළතින් ගිනිය. නැතහොත් ගිනි කෙළිය. දෙ නෑනෝම බලා සිටියේ දෙන්නගෙන් එක්කෙනෙකුට වරදින තෙක්ය. ඊට අවැසි පාර කපමිනි.
එදා එක් නෑනා කෙනෙකු නව යොවුන් වියේ සිටි දියණිය සමග නගරයට ගියේ අවශ්‍යතාවකටය. එම අවශ්‍යතාව ඉටු කරගෙන දියණිය පෞද්ගලික උපකාර පන්තියට ඇරලවීම සෙසු කාරණාව විය. එම නිසා දියණිය පෞද්ගලික උපකාර පන්තියට රැගෙන ගිය පොත්පත් ද ඇය සුරතේය.
අම්මයි දුවයි දැන් බස් පොළේය. මවගේ ජංගම දුරකතනය තිබුණේ දුවගේ සුරතේය. දියණියගේ එකම පන්තියේ යහළුවකු ද බස් පොළට එන්නේ ඔය අතර ය. දුව අම්මාට යහළුවා හඳුන්වා දුන්නා ය. දැන් තිදෙනාම ලොකු කතා බහක ය. දුවටත් ඇයගේ යහළුවාටත් කතා කරන්න ඉඩ දී මව බස් පොළේ වෙළඳසලකට ගියේ අවශ්‍ය ද්‍රව්‍යයක් මිලදී ගැනීමට ය.


ඔය අතරේ දුවගේ අතේ තිබූ මවගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආවේය. ඒ නැන්දාගෙනි. දුව කිසිදු බයක් නැතිව එයට සම්බන්ධ වූවේ අම්මගේ මල්ලීගේ නෝනාගේ නම එහි වැටී තිබූ නිසාම ය. ඇය හලෝ කිව් සැණින් වක්කඩ කැඩූවා වගේ අක්කේ අන්න දුව බස් පොළේ කොල්ලෙක්ගේ ඇගේ එල්ලීගෙන කතා කර කර ඉන්නවා. මම හිතන්නේ ක්ලාස් කට් කරලා තමයි එයා මේ ජවුසම නටන්නේ. බලන්න බෑ අක්කේ ඒ දිහා. මිනිස්සු බල බලා හිනාවෙවී යනවා. අක්කලා මලක් වගේ ගෙදර දී බලා ගත්තත් පිටදී දුව හැසිරෙන්නේ මෙහේමයි.
අනේ බලන්නකෝ අක්කේ මේ කෙල්ලට තේරෙන්නේ නැහැනේ මේකේ ඇති භයානකකම. මේක දැක්කම නිකං මගේ ඇඟ හිරිවැටිලා ගියා. ලැජ්ජාවේ බැහැ. අක්කේ මේක මම කිව්වා කියන්න නම් එපා කෙල්ලට හොඳේ යැයි ඇය කීවිට මෙතෙක් වෙලා නිහඬව සිටි දියණිය හා හොඳයි නැන්දේ මම මේක අම්මට කියන්නම් යයි කීවේ නැන්දාට දෙවියන් බුදුන් සිහි කරමිනි. නැන්දා එකවරම දුරකතනය විසන්ධි කළත් මේ බොරු කේළමෙන් පසු දෙනෑනෝ කෙහෙවලු‍ පටලවාගෙන දැන් දෙන්නට දෙන්නා ඉන්නේ නයයි මුගටියයි වගේලු‍.