(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ ග‍්‍රාමීය ප‍්‍රදේශයක වැඩිහිටියන් සඳහාවූ සමිතියක සංවත්සර මහ සභාව පසුගියදා පැවැත්වූයේ උත්සවාකාරයෙනි. එහි මූලික කටයුතු අවසන් කොට ඊළඟ වර්ෂය සඳහා නව නිලධාරීන් පත්කර ගැනීමේ අවස්ථාව උදාවූ විට එතෙක් සිටි කාරක සභාවට දැඩි විරුද්ධතාව දැක්වූ කථිකයකු ”මේ කාරක සභාව නම් තවත් පත්කර ගන්න එපා. මේකෙ ඉන්න අයගෙන් බාගයක්ම හොරු තක්කඩි” කීවේ කෝපයෙනි.
එහෙත් ඒ කාරක සභාව විශාල වැඩ කොටසක් කර තිබූ නිසා සභාවේ වැඩි දෙනකු ඒ කතාවට එරෙහිවීම නිසා සභාපතිට සභාව පාලනය කිරීම අසීරුවිය. මේ නිසා එම කථිකයාට තම චෝදනාව ඉල්ලා අස්කර ගැනීමට සභාපතිවරයා දැඩි නියෝගයක් දුන්නේය.
කළ හැකි වෙනත් දෙයක් නොවූයෙන් එම කථිකයා නැගිට ”හරි මේ කාරක සභාවෙ ඉන්න බාගයක්ම හොරු තක්කඩි නොවෙයි” කී විට සභාපති ”අන්න හරි” කීවත් ඔහු කිවේ පැරැණි කතාවම නේදැයි කෙනකු කී විට නැවත එය නිවැරදි කිරීමට කීවත් ඔහු ඒ වනවිට සභාවෙන් පැනගොස් තිබුනාලූ.

