එකම මුහුණු ආවරණය පැළඳ පැමිණි සේවකයාට අපූරු පාඩමක්


(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත) 
ජරාවාස වූ එකම මුහුණු ආවරණය හැමදාම පැළඳ එන සහෝදර සේවකයකුට පාඩමක් උගන්වන්න ගොස් අලි ජංජාලයක් වූ පුවතක් දකුණේ කාර්යාලයකින් වාර්තා වේ.


කොරෝනා දෙවැනි රැල්ලේ පිබිදීමත් සමගම මේ කාර්යාලයට පැමිණෙන සේවකයින්ටත් මුඛ ආවරණ පැළඳ සේවයට වාර්තා කිරීම අනිවාර්ය විය. මේ නිසාම සියලුම සේවකයන් සේවයට පැමිණියේ මුඛ ආවරණය පැළඳ ගෙනය. බොහෝ සේවකයින් දිනකට පාවිච්චි කළේ එක මුඛ ආවරණයක් පමණි. 


එහෙත් එක් සේවකයෙක් එකම මුහුණු ආවරණය දින ගණනාවක්ම එක දිගටම පැළඳ පැමිණ ඇත. එය ජාරාවාස වී තිබුණේය. සහෝදර සේවකයින් මේ පිළිබඳව ඔහු දැනුම්වත් කළ ද ඔහු එය තඹේකටවත් මායිම් නොකළේය. 


සහෝදර සේවකයාට මේ සම්බන්ධයෙන් කොතෙක් කීවත් ඊට අවධානයක් යොමු නොකරන නිසා ඔහුට හොඳ පාඩමක් උගන්වන්න හොඳ අවස්ථාවක් එන තුරු ඔවුහු ඉතාම සීරු මාරුවට බාල සිටියහ. කාර්යාල කෑම කාමරයේ කෑම මේසයේ දී ඔවුන්ට එම අවස්ථාව උදා විය. 


මේ සේවකයා දහවල් ආහාරය ගෙන එහි අවශේෂ කොටස් කුණු කූඩයට දැමීමට ගියේ මුහුණු ආවරණය කෑම මේසය මත තබාය. ලද ඇසිල්ලෙන් ප්‍රයෝජනය ගත් සහෝදර සේවකයින් පිරිසක් කෑම කාමරයේ තිබූ මිරිස් කුඩු බෝතලයෙන් මිරිස් කුඩු ස්වල්පයක් එයට එක් කළේ ඉතා සූක්ෂමවය. 


කෑමට ගිය ඔහු තරමක් ප්‍රමාද වූ නිසාම කෑම මේසය මත තබා ගිය සිය මුහුණු ආවරණය මුහුණේ පැළඳ ගත්තේ කිසිම වග විභාගයකින් තොරවමය. ගත වූයේ ටික වේලාවකි. “බුදු අම්මෝ මට ඉන්න බැරියෝ” යයි ඔහු මරහඬ දුන්නේ මුළු කාර්යාලයම එතැනට එක් රැස් කරවමින්ය. 


“දනවෝ” යයි කියමින් ඔහු මුළු කාර්යාලය පුරාම දිව ඇවිද්දේ ජරාවාස වූ මුඛ ආවරණය ද විසිකර දමමින්ය. කාර්යාලයේ ප්‍රධානියා ද එතැනට පැමිණියේ මොහුගේ මරහඬ නිසාය. සිදුව ඇති දේ තේරුම් ගත් ඔහු ද මදහස පෑවේ මාත් මේ මිනිහාට මේ සම්බන්ධයෙන් උපදෙස් දුන්නත් එය ගණනකට නොගත් නිසා මේ පාඩමවත් ඉගැන් වූ එක හොඳයි කියමිනි.