මොරගොල්ලාගම සිසිර කැලේගම.
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
පියා රාජ්‍ය රැකියාවක නියැලෙන අයෙකි. බිරිය ගෘහණියකි. ඔවුනට දාව එකම පුතෙකි. ඔහු පාසල් වියේ පසුවෙන අයෙකි.
පාසල් ගොස් නිවසට එන පුතු පියාට වඩා බොහෝ විට වාසය කරන්නේ මවගේ සෙවණේය.
අම්මා නිවසේ සිට සියලු වැඩපළ කරන ආකාරය දෙස පුතු බලාගෙන සිටින්නේය.
“පුතේ ගෙදරට නැති බැරි අයකු ඉල්ලා ගන්න එනවිට තියෙන හැටියට දෙන්න. කිසිදාක නෑ කියලා හිත් රිදවලා ආපසු යවන්නට එපා. ඔහු කරන්නේ වංචාවක් නම් ඒක එයාට තියෙයි. පිහිට වෙන අපිට පිනක් මිස පවක් සිදුවන්නේ නැත.” මව පුතුට ඔවදන් දුන්නාය.
පියා හා මව නැතිව පුතු පමණක් නිවසේ ‘තනි වී සිටියේය.
එදින යමක් ඉල්ලා ගැනීමට කාන්තාවක පැමිණියාය.
අම්මා දී ඇති ඔවදන් සිහියට ආවේය. නමුත් අම්මා දෙන්නේ කොපමණද කියා කිසිදු වැටහීමක් පුතුට නැත. එහෙත් ඔහු යමක් කරන්නට කුස්සියට දිව ගියේය. හාල් කිලෝ දෙකක් පමණ ගෙනැවිත් දුන්නේය. ඊට අමතරව සුවඳ සබන්, දත් බෙහෙත් ද සමගින් ගමන් ගාස්තු ලෙසට රුපියල් පන්සියක් ද ‘දුන්නේය. ඒ අම්මා ද එලෙස දෙන ආකාරය සියැසින් දැකීමෙනි.
“අනේ චුටි මහත්තයෝ ඔයා වාගේම පුතෙක් මටත් ඉන්නවා.” තියෙනවා නම් ඇඳුමක් දෙන්න.
ඔහු දෙවරක් සිතුවේ නැත. අල්මාරිය ඇද්දේය. ඔහුට අවුරුද්දට ගෙනා අලුත්ම කමිසයක් හා කලිසමක් පාර්සලයක දමා පිළිගැන්වුවේය.
පුතුගේ කරුණාව දුටු කපටි හිඟන කත “මගේ මහත්තයාට පිළිකාවක්. එයා ජීවත් කරවන්න තමයි මේ ඉල්ලාගෙන යන්න එන්නේ.”ඇය කීවාය.
ඉන් හිත උණු වුණු පුතු පියාගේ අලුත්ම සරමක් හා කමිසයක් ද දුන්නේය. උදේට කෑම කෑවා ද කියා ද විමසුවේය.
“ඊයේ රෑ ඉදලා කිසිම කෑමක් නෑ”. යනුවෙන් දුන් පිළිතුරු හමුවේ ඉද ගන්න යැයි පවසා පිගානකට පිසු කෑම ද ගෙනැවිත් දුන්නේය.
ඇය බඩ පුරවා ගත්තේය. දුන් දේවල් ද ගෙන නික්ම ගියාය. ඒ සැනින් පුතුද ගෙදර වසා පංති යාමට නික්මුණේය.
අම්මා තාත්තා ගෙදර පැමිණිය හ. පුතු පංති ගොස් ඇති බව දැන ගත්තේය. මුළු තැන් ගෙට ගිය ඔවුනට කෑමට දෙයක් නැත. සිදු වූ දේ සොයා බැලීමේදි කෑම පමණක් නොව රෑට ආහාරයට ගෙනැවිත් තිබූ’ හාල්ද, මුදල් ද, ඇඳුම් පැලඳුම් දුන් ආකාරය දැනගෙන පුතුට දොස් කීවත් ඒවා නැවත නොලැබෙන බව දැන වෙච්ච පාඩුව තමන්ම විඳ දරාගෙන‘ දුන් දේ සුවඳයි කියා ‘කොක් හඬලා සිනාසෙමින් හිත් හදා ගත්තාලු.