ඇළට වැටුණු රියැදුරු බලපත මාස 3 කට පසු ඇළේදීම හමුවෙලා


රාජාංගනය වම් ඉවුරේ ප‍්‍රධාන වාරි ඇළට වැටී ගසාගෙන ගිය රියැදුරු බලපත‍්‍රයක් මාස 03කට පසුව එම ඇළේම කිලෝ මීටර් 10ක් පමණ පහළ දිය නාමින් සිටි එහි අයිතිකරුටම හමුවූ පුවතක් සාලියවැව යාය 7 ප‍්‍රදේශයෙන් පසුගියදා වාර්තාවිය.

එම වාර්තාවට අනුව මෙම රියැදුරු බලපත‍්‍රයේ අයිතිකරු රාජාංගනය වම් ඉවුර යාය 07 ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු දිය නාන්නේ නිවස අසලින් යන එම ඇළෙනි. මීට මාස තුනකට පෙරදී ඔහු කිසියම් අවශ්‍යතාවක් සඳහා වම් ඉවුරේ ගිරිබාව අටේ කණුව ප‍්‍රදේශයට ගොස් ඇත. එහිදී මුහුණ කට සෝදා ගැනීම සඳහා වාරි ඇළට බැස ඈත දියට නැමී ඇත. ඔහුගේ කමීසයේ සාක්කුවේ තිබූ රියැදුරු බලපත‍්‍රය ඇළට වැටී ඇත්තේ එම අවස්ථාවේදීය.

තම රියැදුරු බලපත‍්‍රය ඇළට වැටී නැතිවීම සම්බන්ධයෙන් ඊට දින කීපයකට පසුව මොහු ප‍්‍රදේශයේ පොලිසියට ගොස් පැමිණිල්ලක් ද කර ඇත.

මෙසේ කාලය ගෙවෙමින් පවතින අතරතුර එකී රියැදුරු බලපත‍්‍රයේ අයිතිකරු පසුගිය දිනක සුපුරුදු ලෙස නිවස අද්දරින් ගලා යන වාරි ඇළේ දිය නාමින් සිට ඇත. එහිදී යමක් ඇෙඟ් දැවටෙන බවක් ඔහු එය කුමක්දැයි විපරම් කර තිබේ.  ඒ අනුව ඇෙඟ් දැවටුණු දේ අතට ගෙන පරීක්ෂාකර බැලීමේ දී එය මීට මාස 03 කට ඉහත දී එම ඇළේම කිලෝ මීටර 10ක පමණ දුරින් දියට වැටුණු තම රියැදුරු බලපත‍්‍රය බව හඳුනාගෙන ඇත.

අදහා ගත නොහැකි මෙම සිදුවීමෙන් ඔහු පුදුමයට පත්වී තිබේ. ඊට එක් හේතුවක් නම් එකී රියැදුරු බලපත‍්‍රය ඇළට වැටුණු සහ එය හමුවූ ස්ථානය අතර ප‍්‍රධාන ජලාශ දෙකක් ද පිහිටා තිබීමය.