ආරක්ෂාවට දුන් ලක්ෂ එකහමාරක රන්බඩු උකස් කර පලා ගිහින්


රුපියල් ලක්‍ෂ එක හමාරක් පමණ වටිනා රන් ආභරණ ආරක්‍ෂාව පතා අසල්වැසි නිවෙසක කාන්තාවක භාරයේ තබා තිබිය දී එම කාන්තාවගේ සැමියා විසින් එම රන් ආභරණ උකස් කළැයි කියන පුවතක් පොලීසියෙන් වාර්තා වෙයි.

 වාර්තාවන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.

 තම නිවසේ ආරක්‍ෂාව ප‍්‍රමාණවත් නොවීම නිසා නිවෙසින් පිට ගමනක් යාම සඳහා නිවැසියන් තමන් සතුව තිබූ රුපියල් එක්ලක්‍ෂ පනස් දහසක් පමණ වටිනා රන් මාල තුනක්  සහ රන් වළල්ලක් අසල්වැසි  නිවෙසක කාන්තාවකට ආරක්ෂාව සඳහා ලබාදී තිබිණි.

ටික දිනකට පසුව නිවැසියන් පැමිණි පසු තමන් ආරක්‍ෂාව සඳහා දුන් රන් ආභරණ නැවත ඉල්ලා සිටියත් විවිධ කතා කියමින් එය දීම ප‍්‍රමාද කරනු දුටු නිවැසියෝ සිද්ධිය පොලීසිය දක්වා රැගෙන ගියහ. මේ සම්බන්ධයෙන් පොලීසිය කළ පරීක්‍ෂණය අනුව හෙළි වූයේ අදාළ රන් භාණ්ඩ බිරියගේ අනුදැනුම මත සැමියා විසින්  උකස් කැරුණු බවයි. රන්  ආභරණ උකස් කළ සැමියා මුදල් ද රැගෙන නිවසින් බැහැර ගොස් ඇති අතර විශ්වාසය කඩ කිරීමේ චෝදනාව මත බිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.