ආණ්ඩුවෙන් ආධාර ගන්න වැසිකිළිය වෙනුවට පතෝල මැස්සක් හදලා


(තිහගොඩ උපසේන ලියනගම)
අඩු ආදායම් ලාභීන්ට වැසිකිළියක් සාදා ගැනීමට සමාජ සේවා අමාත්‍යාංශයෙන් ලබාදෙන රුපියල් පහළොස් දහසේ මුදල ලබා ගැනීමට ‘පතෝල මැස්සක්’ හැදූ තැනැත්තකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ වියළි කලාපයට ආසන්න ගමකින් වාර්තාවේ.


රක්ෂිත වනාන්තරයක් අසල ස්වර්ණභූමි ඔප්පුවක් ලබාගෙන පදිංචි වූ මොවුහු අඩු ආදායම් ලබන්නෝය.


එහි වැසිකිළියක් නොවීම නිසා සමාජ සේවා නිලධාරියකු කීවේ රජයෙන් ඒ සඳහා ආධාර ලෙස රුපියල් පහළොස් දහසක් ලබාදෙන බවත් වැසිකිළි වළ හාරා එහි අඩිතාලම සිමෙන්තියෙන් බැන්ද පසු මුල් රුපියල් පන්දහස හා වැඩ නිමකළ පසු ඉතිරි මුදල ගෙවන බවත්ය.


ඔහු වළ හාරා සිමෙන්තියෙන් බැඳ නිම කළ පසු මුල් රුපියල් පන්දහස ලැබිණි. පසුගියදා වැඩ නිම කළ බව දැන්වූ පසු නිලධාරියා එහි ගිය විට දක්නට ලැබුණේ අසල වූ කැලයෙන් ලී කපා ඒවා වටේට සිටුවා ඉහළට ද ලී රැසක් හරහට බැඳ කොළ අතු දමා තිබූ බවකි.


පසුගියදා පැවැති ප්‍රදේශයේ සම්බන්ධීකරන රැස්වීමේදී මේ ගැන පැවැසූ නිලධාරියා ඒක වැසිකිළියක් නෙමෙයි. තනිකරම ‘පතෝල මැස්සක්’ කීවේ සියලුම නිලධාරීන්ගේ සිනා හඬ මධ්‍යයේලු.