(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
ඔන්ලයින් යෑමට සූදානම්ව සිටි සිය මිනිපිරියට තමාද එහි රැගෙන යන ලෙස කියූ ආච්චි කෙනෙකු පිළිබඳ පුවතකි මේ. වාර්තාවන්නේ බස්නාහිර පළාතේ ප්‍රධාන නගරයකිනි. පුවත සැකවින් මෙසේයි.
ඇය ඉදිරියේදී පැවැත්වීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටින සිසුවියකි. මේ දිනවල පාසල් වසා ඇති නිසා අධ්‍යයන කටයුතු සිදුකරන්නේ ඔන්ලයින් හරහාය. ඇගේ පියා රාජ්‍ය බැංකුවක ලිපිකරුවෙකු වන අතර මව රජයේ රෝහලක හෙදියකි. ඔවුන් ජීවත්වන නගරයේ නිවසට මීට දින කිහිපයකට පෙර මිත්තණිය (පියාගේ මව) ගමේ සිට පැමිණියාය. ඒ ඇය අසනීපව සිටින නිසා ඊට වෛද්‍ය පරීක්ෂණ සිදුකර ප්‍රතිකාර ලබාගැනීම සඳහායි. එදින උදෑසන මවත් පියාත් ඔවුන්ගේ මෝටර් රථයෙන් රැකියා සඳහා පිටත්ව ගියේ මිත්තණිය හොඳින් බලාගන්නා ලෙසත්, නියම වේලාවට ඇයට බෙහෙත් වර්ග දෙන ලෙසත් දියණියට පවසමිනි.
එදින දහවල් 10.00 ට පමණ දැරියට ඔන්ලයින් පාඩමක් තිබූ අතර සිය මිත්තණිය ළඟට ගිය ඇය ඒ බව මිත්තණියට පැවසුවාය.
ආච්චියේ මම ඔන්ලයින් යනවා. පැය එක හමාරක් විතර කාලය ගතවෙයි. කෑම කාමරේ මේසය උඩ කේක්, කෙසෙල් තියෙනවා. උණු වතුර බෝතලයට තේ දාල තියෙනවා. ආච්චි කේක්, කෙසෙල් කාලා තේ බොන්න. අනේ මගේ දුවේ මටත් මේ දවස් ටිකේ මේ ගෙදරට කොටුවෙලා ඉඳලා එපාවෙලා. මෙහෙ අල්ලපු ගෙරදටවත් යාමක් නෑනේ. ගමේ නම් අපි එහෙම නෑ. මගෙ දුව මාවත් ඔන්ලයින් එක්ක යන්නකෝ. මිත්තණිය පැවසුවාය.
සිය මිත්තණිය ඔන්ලයින් යනු ස්ථානයක් ලෙස වටහාගෙන ඇති බව තේරුම් ගත් දැරිය ඇයට එය පැහැදිලි කර දුන්නාය.