(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
අලුත් අවුරුද්දට සුබ පතන්න දුන් දුරකතන ඇමැතුම පොලිසියෙන් කෙළවර වූ පුවතක් අපේ පළාතෙන් අසන්නට ලැබිණ.
ජනවාරි පළමුදා උදාවෙත්ම අලුයම් කාලයේදී නිදි යහනේදීම හිතමිතුරු ඥාතීන්ට සිය ජංගම දුරකථනයෙන් සුබ පැතුවේය. ඒ දුන් එක ඇමැතුමකින් ඔහුට පෙරළා සුබ පැතීම වෙනුවට ආවේ පරුෂ වචනය.
තෝ මට අලුත් අවුරුද්දට සුබ පතන්නේ රෙද්දක් ඇඳගෙනද යන්නෙන් පටන් ගත් පෙරළා පැමිණි ඇමැතුම ඔහුට මරණීය තර්ජනය දක්වාද විහිදී ගියේය. ඒ විතරක්ම නොව එතැනින් පටන් ගත් සුබ පැතීමේ ඇමැතුම එදා උදේ ගහ මරා ගන්නා තැනටම ගියේය. එය බේරන්න බැරිම තැන සිද්ධිය පොලිසිය දක්වාද ගියේ මේ අතරවාරයේදීය.
එකම ගමක විසූ මේ දෙන්නා එදා හොඳ මිතුරෝය. ගැහැනු හුටපටයක් මත දෙන්නා පස මිතුරන් බවට පත්වී ඇත. දෙන්නට දෙන්නාගේ මරණයකටවත් එපාවෙන තරමටම ඔවුහු ජන්මාන්තර වෛරක්කාරයෝ වූහ. මිතුරුදම පවත්න සමයේ ඔවුන් දෙදෙනාගේම ජංගම දුරකතන අංක ඔවුනොවුන්ගේ දුරකතනවල ගබඩාවී තිබුණේය.
ඔහු එදා අලුත් අවුරුද්දට සුබ පතන්න ගියේ වෙන කෙනෙකුටය. ඔහුට තිබුණේද පස මිතුරාගේ නමමය. ඔවුන් දෙදෙනාගේ දුරකතන අංක හඳුනා ගැනීමට සංකේත භාවිත කොට තිබුණත් නිදිමරගාතේ සංකේත අංකයද පැටලී ඔහු සුබ පැතීමට ඇමැතුම ලබාගෙන තිබුණේ නියම කෙනාට නොව පස මිතුරාටය. ඔහු සමග නයි වෛරයෙන් සිටි පස මිතුරාට ඔහුගේ කටහඬ අලුයම ඇසීමත් සමගම යක්ෂාවේශ වූයේය.
ඔහු සමග හිතේ හිරවූ කේන්තිය පිරිමහ ගැනීමට පස මිතුරා මෙය අවස්ථාවක් කරගත්තේය.
ඒ විතරක්ම නොව තමා සමග ඔහු යහළුවීමට එන බව ගම්වාසීන්ටද ඒත්තු ගැන්වීමට පස මිතුරා එදා උදේ ඔහුගේ නිවෙස ඉදිරිපිටට ගොස් මරණ තර්ජනය කරමින් බැණ වැදුනේය. බේරෙන්න බැරිම තැන ඔහු මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කළේය.