(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ වියළි කලාපයට අයත් නගරයකි. එම නගරාසන්නව විසූ වෑන් සහ බස් රථ රියැදුරකු වූ ඔහු දෙයියන්දර ප්‍රදේශයේ නිවසක උත්සවයකට ගිය අතර එහිදී දුටුවේ ඉතා ලස්සන බලු පැටවුන් දෙදෙනෙකි. තම බිරිඳ මීට පෙර කීප වතාවක්ම සුරතල් බලු පැටවකු සොයා දීමට කී නිසා ගෙහිමියාට පෙරැත්ත කර බලු පැටවකු රැගෙන ඔහු නිවසට ආවේ සතුටෙනි.
දිග වලිගයකින් යුත් මේ බලු පැටියාට බෙහෙවින් ආදරය කළ බිරිය ඌට මස් මාළු ආදිය නොඅඩුව කෑමට සැපයුවත් නිවස අවට බල්ලන් මේ ගැන උරණ වී නිතර බුරණ බවක් ඇයට ඇසුණි. බලු පැටවා මේ ගැන කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.
කලකට පසු ගේ අවට වූ බල්ලන් බුරණ විට හිටි ගමන්ම මේ බලු පැටියා කුඩුව දෙවනත් කරමින් ‘‘හූ’’ කියන්නට විය. බලු රැල තවත් වේගයෙන් බිරූහ.
මේ කලබලය අසා පාරේ ගිය වැඩිහිටියකු නිවසට පැමිණ බලු පැටියා පරීක්ෂා කොට ‘‘හත්දෙයියනේ දුවේ මේකා බලු පැටියෙක් නෙමෙයි. නරි පැටියෙක්, කොහෙන්ද ගෙනාවේ’’ ඇසු විට ගෙහිමි කාන්තාවට තරු පෙනුණාලු.