වසර ගණනාවකට පසුව තම විවාහක පුතුගේ මුනුපුරා බලන්නට ගිය පියකු ලේලිය ගෙදරින් පන්නා දැමු පුවතකි මේ.
සිද්ධිය අනාවරණය වෙන්නේ මධ්‍යම පළාතට අයත් ගමකිනි. මෙම පවුලේ දරුවන් හතර දෙනෙකි. ඔවුහු ජනපද පෙදෙසක මුල් නිවසක වාසය කරමින් ඇති දැඩි වූහ.
පියා ගොවිතැනින් තම දරුවන්ට නිසි අධ්‍යාපනය දෙන්නට නිරතුරුවම වෙහෙසුණි. ඔවුහු නගරයේ ජනප්‍රිය පාසල්වලට ගොස් කෙසේ හෝ නිසි අයුරින් ශිල්ප ඉගෙන ගත්හ.
වැඩිමල් පුතා රජයේ රැකියාවකට පිවිසුනි. ඔහුගේ සහකාරිය ද රාජ්‍ය සේවිකාවකි. විවාහ වූ දෙදෙනා පිටත සිට බෝඩිමක රැඳී සේවයට ගියහ. කාලය කෙමෙන් ගෙවී යන අතරේ එම යුවළට දාව දරු පැටියෙක් ඉපදුනේය. ඒ අතරේ බිරියට අයත් ඉඩමක ඔවුනට කියා නිවහනක් ඉදි කෙරිණි. ඔවුහු එම නිවසේ පදිංචියට ගියහ. එදා පැවැති උත්සවයට පවුලේ සියලු දෙනාම සහභාගි වුහ. මවුපිය දෙදෙනා මුනුපුරා දුටු පළමු දිනයද එදිනය.
ඊට වසර කිහිපයකට පසු පියා හදිසියේ මෙම ඉසව්වට ගියේය. ඒ ගමේ නඩයක් කැටුව ඥාති මළ ගෙදරකට සහභාගි වීම සඳහාය. ගිය නඩය ආපසු එන ගමනේ දී මෙම පියා සමග ඔහුගේ පුතුගේ ගෙදරට ගොඩ වූහ. ඒ වනවිට පුතු හා දියණිය සේවයට ගොස් සිටි නිසා බිරියගේ මව හා දඟකාර මුනුපුරා පමණක් නිවසේ රැඳී සිටියහ. මුනුපුරා සීයාට ලෙන්ගතු විය. යන්නට එපා කියා හඩා වැටුණි. මේ නිසා පැමිණි නඩය සීයා එහි නවතා ගමට යාමට පිටත් වූහ.
පුතා එන්නට පෙර පුතුගේ සහකාරිය වන ලේලිය ගෙට ගොඩ වුණාය. මාමණ්ඩිය ඉන්නවා දැක සතුටට පත්ව ආ ගිය තොරතුරු විමසුවාය. “දුවේ අපි මේ මළ ගෙදරක ආවා. ඒ අයත් එක්ක යන ගමන් ගෙට ගොඩ වුණා. කොහේද ඉතිං මේ පොඩ්ඩා යන්න දුන්නේ නෑනේ. මං හිටියා. ආපු අය ගියා”මාමණ්ඩිය කීවේය. “අනේ බලන්න ඔයා කරපු දේ තනියම මදිවට නඩයක් එක්කම ගෙට ඇවිල්ලා. අපරාදේ අපේ සල්ලි. මගේ මහත්තයාට අපලයක් කියලා යන්ත්‍රයක් දැම්මා විතරයි. දවස් තුනක් යනකම් කිල්ලකට අහුවෙන්න එපා කිව්වා. ඔයා පුතා එන්න පෙර ගෙයින් පිට වෙන්න.”ඇය කීවාය.
ඇය වහා මුළුතැන් ගෙට දිව ගියාය. භාජනයකට කහ දියර ගෙනැවිත් ගේ වටා ඉහින ගමන් මාමණ්ඩියගේ ඇඳුම් ද ගෙනැවිත් එළියට දුන්නාය.“අනේ ඔයා යන්න. අමනාප වෙන්න එපා. මේක ඔයාගේ පුතාගේම හොඳකට කරන දෙයක්නේ.”ලේලිය තොරතෝංචියක් නැතිව කියවනවාය.
වැටෙන් පිටිත සිට සරම හා කමිසය ඇඳ ගත් මාමණ්ඩිය පුතාගේ සරම කඩුල්ලෙන් පිටත වැටේ එල්ලා දෙපාවලට වාරු දෙමින් දැඩි අපහසුවෙන් කන්ද නැග පාරට පිවිස බස් රථයක නැගී මැදියම් රැයේදී තම ගෙට ගොඩ වී වෙච්ච අකරතැබ්බය කීවාලු.
මොරගොල්ලාගම සිසිර කැලේගම