වෙළඳපොළට එනවා නම් නිවසකින් එක් අයෙක් පමණයි


(විනීතා එම්.  ගමගේ)
 
ඇඳිරි නීතිය ඉවත් කළ පසුව ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වෙළඳපොළ වෙත පැමිණෙන්නේ නම් එක් නිවසකින් එක් අයෙක් පමණක් පැමිණෙන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක්  කරයි.

 
ජනතාව ඒකරාශී වුවහොත් පවතින කොරෝනා වයිරසය පැතිර යාමේ තර්ජනය දෙගුණ තෙගුණ විය හැකි බැවින් මෙම ඉල්ලීම  කරන බවශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ලංකාදීපයට පැවැසීය.
 
පෝලිමක සිටිය දී දෙදෙනෙකු අතර  පරතරය මීටරයක් සිටින සේ සිටින ලෙස ද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
 
එමෙන්ම වෙළඳසැල් හිමියන්ටද ප්‍රධාන වගකීම් කිහිපයක් ඇතිබවපෙන්වා දුන් උපුල් රෝහණ මහතා වෙළඳ සල් තුළට එක් අයෙක් පමණක් ඇතුළු කර ගැනීමටත්  ඔහු පිටතට පැමිණි පසු තවත් අයෙක් ඇතුළට ගැනීමටත් වෙළඳසැල් හිමියන් වග  බලා ගතයුතු බවද ‍දන්වා  සිටියේය.
 
වෙළඳසල් අසල අත් සේදිමට අවශ්‍ය පහසුකම් සකසා තබන ලෙස ද දන්වා සිටි සභාපතිවරයා දිගු පොලිම් ඇත්නම් පරතරයක් සිටින සේ තබන ලෙස ද උපදෙස් දුන්නේය.
 
මේවා පිළිපදින්නේ දැයි බැලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිරන්තර නිරීක්ෂණයේ යෙදෙනු ඇතැයි ද එසේ පිළිනොපදින වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාවේ යොවන බවද ඔහු කියා සිටියේය.