රෝහල් අධ්‍යක්ෂවරු 24ක් කොළඹට කැඳවති


( දිල්රුක්ෂි ග්‍රේරු ) 

දැනට දිවයින පුරා පැතිරයමින් පවතින කොවිඩ් 19 කොරෝනා වයිරසය මර්දනය කිරීමට සෘජුව සම්බන්ධව කටයුතු කරන රෝහල් අධ්‍යක්ෂවරු 24 දෙනෙකු සෞඛ්‍ය දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොළඹට  කැඳවා තිබේ.
 
කොළඹ නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රවණාගාරයේදී මෙම සාකචඡාව පැවැත්විණි.
 
 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා රෝහල් සේවා පවත්වාගෙන යාම සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම  එහි මුළික අරමුණ විය.
 
 විශේෂයෙන් මෙම රෝහල් වලට පැමිණෙන ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන්ට සහ ‌සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට මුහුණ දීමට සිදුවන ගැටලු වලට අවශ්‍ය විසදුම් මෙම සාකච්ඡාවේදී ලබා දෙන ලදී.
 
 ක්ෂණිකව ගතයුතු ක්‍රියාමාර්ග සහ රෝග පාලනයට ගතයුතු නිර්ණායකයන්  පිළිබදවද රෝහල් අධ්‍යක්ෂකවරු දැනුවත් කිරීමද මෙහිදී සිදු කළේය. රෝගී තත්වය විනිශ්චය කිරීම සඳහා  පී.සී.ආර්  පරීක්ෂණය එම රෝහල් වලම සිදුකරගැනීමට අවශ්‍ය යන්ත්‍ර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යවරිය උපදෙස් ලබා දුන්නාය.
 
 එමෙන්ම වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සදහා ප්‍රවාහන පහසුකම් සහ නවාතැන් පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධවද ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දෙන ලදී.
 
මෙම රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත ක්ෂණික මිලදී ගැනීම් සදහා අවශ්‍ය අනුමැතිය සහ මුදල් ප්‍රතිපාදන ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට උපදෙස් දුන් අතර එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ  නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්ද සහභාගි වූහ.