නවසීලන්තය සති හතරක් වසා දමයි


ලෝකයේ අනෙක් රටවල මෙන් කොරෝනා ආසාදිතයන්ගේ ගණන සහ මරණ ගණන වේගයෙන් ඉහළ යෑම වළක්වා ගැනීම සඳහා සති හතරක කාලයකට රටේ කටයුතු සම්පූර්ණයෙන් සීමා (ලොක්ඩවුන්) කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් අද (23) ප්‍රකාශ කළාය.

නවසීලන්තයේ ජනගහනය මිලියන පහක් වන අතර එරටින් වාර්තා වන සමස්ත  ආසාදිතයන්ගේ ගණන 102ක් බවත් එය වාසනාවක් බවත් ඇය සඳහන් කළාය. 

නවසීලන්තයෙන් මෙතෙක් කොරෝනා මරණයක් වාර්තා වී නැති නමුත් දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව නවසීලන්ත ජාතිකයන් අතර වයිරසය පැතිර යෑමේ අවදානමක් ද තිබෙන බවත් එම නිසා මෙලෙස දැඩි පියවර ගන්නා බවත් ඇය සඳහන් කළාය.
 

එලෙස දැඩි පියවර නොගතහොත් දින පහෙන් පහට ආසාදිතයන්ගේ පිරිස දෙගුණ විය හැකි යැයි ද අග්‍රාමාත්‍යවරිය කීවාය.

‘‘අපි නිසි පරීක්ෂාවක් කළේ නැත්නම්, අපේ සෞඛ්‍ය පද්ධතියට දරාගන්න බැරි වේවි. එහෙම වුණොත් නවසීලන්තයේ දහස් ගණනක් මියයාවී’’ යැයි ද අග්‍රාමාත්‍යවරියා පැවැසුවාය. ‘‘දරුණුතම තත්ත්වය ඕනෑම වෙලාවක උදාවෙන්න පුළුවන්. එහෙම වුණොත් අපේ ඉතිහාසයේ නවසීලන්ත ජීවිතවලට වුණු විශාලම හානිය වෙන්න පුළුවන්. මම ඒ අවදානම ගන්නේ නැහැ’’ යැයි ද ඇය කීවාය.

ඒ අනුව රටේ කටයුතු සම්පූර්ණයෙන් සීමා කිරීමට පියවර ගන්නා බවත් එය කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමටත් අපේ සෞඛ්‍ය පද්ධතියට කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීමටත් අවස්ථාවක් ලබාදෙන්නේ යැයි නවසීලන්ත අගමැතිනිය තවදුරටත් සඳහන් කළාය.

මෙම නව සීමාවලට අනුව නවසීලන්තයේ සියලු පාසල් සහ අත්‍යවශ්‍ය නොවන සියලු ව්‍යාපාරික ස්ථාන වසා දැමෙන අතර නවසීලන්ත වැසියන්ට සති හතරක කාලයක් නිවෙස්වල රැඳී සිටීමට සිදුවනු ඇත.

‘‘ශක්තිමත්ව සිටින්න. කරුණාවන්ත වෙන්න’’ නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය අවසාන වශයෙන් සිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

ඒ.එෆ්.පී.

055