ඥාති නිවසක සැඟව සිටි සංචාරක මග පෙන්වන්නෙකු නිරෝධායනයට


(ඉන්දික අරුණ කුමාර)
 
ඉන්දියානු ජාතිකයින් සමග ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වු මගපෙන්වන්නෙකු නිරෝධායනයට යොමු නොවී, පිළිහුඩුගොල්ල පෙදෙසෙහි ඥාති නිවසක රැඳී සිටියදී අද(21) නාඋල පොලිසිය විසින් සොයාගෙන නිරෝධායනයට යොමු කර තිබේ.

 
ඔහු අනුරාධපුර- මිහින්තලේ  ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
ඔහු සිය බිරිඳ සහ දරුවා සමඟ ඊයේ (20) සවස ඥාති නිවසට පැමිණ රැඳී සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.
 
නාඋල පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මහතා විසින් අදාල පුද්ගලයා සම්බන්ධයෙන් කළ විමර්ශන පවත්වන ලදී.
 
අදාල නිවැසියන් හා එම නිවසට පැමිණි පුද්ගලයින් සම්බන්ධයෙන් නාඋල පොලිසියේ නිලධාරින් දැඩි අවවාද කළ අතර ඔවුන් ඊයේ (20) පස්වරුවේ සිට අද (21) දහවල් දක්වා කිසිදු නිරෝධායන කටයුත්තකට යොමු නොමැති බව අනාවරණය විය.
 
ඇඳිරි නීති සමයක වෙනත් ප්‍රදේශයකට සංචාරයක නිරතවීම මෙන්ම විදෙස් සංචාරයන් ඇසුරු කරන පුද්ගලයින් ඇසුරු කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් කිසිදු වගකීමකින් කටයුතු නොකිරීම පිළිබදව පොලිසිය ඔවුන්ට අවවාද කරන නිරෝධායනයට යොමු කළේය.
 
සංචාරක මගපෙන්වන්නා තවත් නිවාස වෙත ගමන් කර ඇත්දැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි.