කටුනායකට පැමිණි 3491 ක් නිරෝධායන මධ්‍යස්ථාන වලට


(ටී.කේ.ජී.කපිල )

ගෙවී ගිය දින 12 ක කාලය ඇතුළත  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් 3,491 ක් නීරෝධායන කටයුතු සදහා, රට පුරා පිහිටුවා ඇති නීරෝධායන මධ්‍යස්ථාන 22 ක් වෙත යොමු කර ඇති බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය. කටුනායක ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවට පැමිණි පිරිස සඳහා 10 දින අලුයම 4.00 සිට ආරම්භ කර තිබූ නීරෝධායන කටයුතු අද(22) දින සවස 3.00 ට නිල වශයෙන් නිමාවට පත් කළ බව ද ඒ මහතා කීවේය.  

             
මෙතැන් සිට රජයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ විශේෂ අවසරයක් ඇතිව ගුවන් යානයක් ශ්‍රී ලංකාවට ගෙන්වූවොත් මිස, එයින් පරිබාහිරව කටුනායක ගුවන් තොටුපළ සිට ක්‍රියාත්මක නීරෝධායන වැඩසටහන නිමාවට පත් කර ඇති බවද ගුවන් තොටුපළ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .

කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන මගීන් කිසිදු බාධාවකින් තොරව පිටත්ව යන අතර , කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ රට තුළට පැමිණෙන ගුවන් මගීන් සදහා ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.

කෙසේ වෙතත්  සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන එන ගුවන් යානා, හදිසි ගොඩබැස්සවීමට පැමිණෙන ගුවන් යානා, කාර්මික දෝෂ මත ගොඩබැස්සවීමට පැමිණෙන ගුවන් යානා , ආහාර සහ ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන ගුවන් යානා සහ මගීන් රහිතව පැමිණෙන ගුවන් යානා සඳහා ද තවදුරටත්  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට අවස්ථාව ලබා දී තිබේ.