ස්ථාවර තේ නිෂ්පාදනයකට , අපනයනයට ඒකාබද්ධ ප්‍රතිචාරයක් අපේක්ෂා


ශ්‍රී ලාංකීය වැවිලිකරුවන් අවධානයෙන්


මෙරට වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රධානතම සංවිධාන ව්‍යුහය වන ලංකා වැවිලි කරුවන්ගේ සංගමය, හෝමූස් සමුද්‍ර සන්ධිය සහ බටහිර ආසියාතික රටවල් ආශ්‍රිතව පැන නැගී ඇති අනපේක්ෂිත අර්බුදය හමුවේ නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම පිළිබඳව බලවත් අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කර සිටී.

ශ්‍රී ලංකාවේ වාර්ෂික තේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.5ක් වන අතර මෙම අගයෙන් සියයට 45ක් එනම් ඩොලර් මිලියන 680ක් ම හිමි වන්නේ මැදපෙරදිග රටවලින්ය. එනම් ඉරානය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහ සවුදි අරාබියෙන්ය. 

පිරිසුදු ශ්‍රී ලාංකීය තේ සඳහා මෙම වෙළෙඳපොළ ආශ්‍රිතව පවතින තීරණාත්මක තත්වය සැලකිල්ලට ගනිමින් වසර ආරම්භයේ සිට අත් විඳින්නට සිදු වූ ඉල්ලු‍ම් හා සැපයුමට අදාළ බාධාකාරී තත්වය හමුවේ අනපේක්ෂිත අභියෝගවලට මුහුණ දීමට වැවිලි ක්ෂේත්‍රයට මේ වන විට සිදු ව ඇති බව කලාපීය වැවිලි සමාගම් හා කුඩා පරිමාණ තේ සහ රබර් නිෂ්පාදකයන් ආශ්‍රිතව දැක ගත හැකි බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කළේය.

දැනට තේ සහ රබර් නිෂ්පාදන පිරිවැයෙන් සියයට 70ක් සේවක වැටුප් අන්තර්ගත වන අතර යෙදවුම් අමුද්‍රව්‍ය වන ඛනිජ තෙල්, පොහොර, රසායනික ද්‍රව්‍ය, දර, ඇසුරුම් මාධ්‍ය, සහ අනෙකුත් භෞතික යෙදවුම් ඉතිරි නිෂ්පාදන පිරිවැයට ඇතුළත් වී ඇත. 

2026 ජනවාරි පළමුවන දා සිට බලපැවැත්වෙන පරිදි සිදු කළ වැටුප් වැඩි කිරීම සිදු කරන තෙක්ම වතු සේවක වැටුප මෙම ක්ෂේත්‍රයේ වඩාත් විවාදාපන්න අභියෝගයක් ව තිබුණි. 

වතු සේවක වැටුප් වැඩි කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් නිරතුරුවම කලාපීය වැවිලි සමාගම්වල එකඟතාව පැවතිය නමුත් එම වැටුප් වැඩි කිරීම මූල්‍ය තිරසාර බව පවත්වාගෙන යා හැකි යාන්ත්‍රණයක් තුළ සිදු කළ යුතු බව අවධාරණය කරන ලදී. එනම් මෙරට තේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිෂ්පාදන පිරිවැය අධික වීම සහ ඵලදායීතාව අඩු වීම මේ සඳහා මුලික වශයෙන් බලපානු ලබයි. 

වතු ජනසතුකරණය සහ 1992 වතු පුද්ගලීකරණය කිරීමෙන් අනතුරුව වැවිලි ක්ෂේත්‍රයේ වැටුප සාමූහික කේවල්කරණයක් හරහා එකගත්වයකට පැමිණීම සිදු වූ අතර මෙම සාමුහික ගිවිසුම් ක්‍රියාවලියට කලාපීය වැවිලි සමාගම්, සේවක වෘත්තීය සමිති සහ සේව්‍ය සම්මේලනය සහභාගී වූහ. 

2021 වසරේදී වතු සේවක වෘත්තීය සමිති ඒක පාර්ශ්විකව ගිවිසුමෙන් ඉවත් වූ අතර පඩි පාලක සභා ආඥා පනත භාවිත කරමින් 2021 - 2023 කාලයට අදාලව වතු සේවක දෛනික වැටුප රුපියල් 1000කින් සහ 2024 සැප්තැම්බර් මාසයේදී මේ අගය 1350කින් ඉහළ නංවා ගැනීමට රජය එකඟකරවා ගැනීමට සමත් විය. 

වර්තමාන රජය ‌ ‌ඓතිහාසික තීන්දුවකට එළැඹෙමින් අර්ධ සහනාධාර ක්‍රමවේදයකට යොමු වෙමින් වඩාත් ආසන්නතම වැටුප් වැඩි වීම සේවකයන්ට ලබා දුන් අතර මෙම තීරණයට ප්‍රථමයෙන් කලාපීය වැවිලි සමාගම්, සහ ක්ෂේත්‍රයේ ආයතනික මට්ටමේ නිෂ්පාදකයන් සමග උපදේශන මාලාවක් පවත්වන ලදි. 

මෙම නව වැටුප් වැඩි වීමට අනුව සේවකයන්ට ශුද්ධ වැටුප් වැඩි වීමක් හිමිවෙයි. මේ අනුව 2026 ජනවාරි 1 වන දින සිට දෛනික වැටුප රුපියල් 400 කින් වැඩි වී 1750 බවට පත් ව ඇත. මෙම වැඩි වූ රුපියල් 400 යෙන් 200ක් රජය මගින් සහනාධාරයක් ලෙස ලබා දෙන අතර ඉතිරි රුපියල් 200 කලාපීය වැවිලි සමාගම් විසින් දරනු ඇත.

පසුගිය දශකය පුරාම මෙරට වැවිලි ක්ෂේත්‍රය විවිධ අර්බුදකාරී තත්ව රැසකට මුහුණ දුන්නේය. මේ අතුරින් ඇතැම් අර්බුද පසුගිය ආණ්ඩු විසින් කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව ගනු ලැබූ රසායනික පොහොර ආනයනය සීමා කිරීම, කෘෂි රසායනික තහනම් කිරීම සහ භෝග විවිධාංගීකරණයට අදාළව පැන නැගුණි. මේ අතර තුර කාලයේදී මුළුමහත් ලෝකයම වෙළා ගත් කොවිඩ් සංචරණ සීමා සහ රට වසා දැමීමත් ඉන් අනතුරුව ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය මෙන්ම වඩාත් මෑතකදී අපි අත්විඳි දිත්වා සුලිකුණාටු තත්වය පෙන්වා දිය හැක. මේ සෑම අර්බුදයක්ම මෙරට වැවිලි කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කළ බවට කිසිදු සැකයක් නැත. 

නිෂ්පාදන පිරිවැය අඛණ්ඩව ඉහළ යෑමත් සහ ඒ තුළ ඇති වැටුප් පිරිවැයත් නිසා සමස්ත වැවිලි ක්ෂේත්‍රයම පෙර නොවු විරූ අවිනිෂ්චිත පීඩනයකින් වෙළී ඇත. ගල්ෆ් කලාපයේ පවතින ගැටුම වහාම නිවාරණය වුවද, අප මුහුණ දුන් පෙර සියලු‍ සීමාකාරී තත්ව ශ්‍රී ලංකාවට එකවර බලපානු ඇති බවක් පෙනී යයි. ගල්ෆ් කලාපයේ ඇති ව තිබෙන තත්වය හේතුවෙන් පොහොර ආනයනට බාධා මතු වී සැපයුමට තර්ජනයක් වෙතැයි අවිනිශ්චිත තත්වයක් ගොඩනැංවෙමින් පවතී. මේ තත්වය හමුවේ 2026 වසර තුළ තේ නිෂ්පාදන ක්ෂේත්‍රය අපේක්ෂා කරන කිලෝ මිලියන 300 ඉලක්කය වෙත යෑම ප්‍රශ්නකාරී වී ඇත. මෙම ගැටුම්කාරී තත්වය ගෝලීය පොහොර නිෂ්පාදන සහ සැපයුම්දාමයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බැවින් ශ්‍රී ලංකාව තම 2026 සහ 2027 වසරේ තේ නිෂ්පාදන ඉලක්ක වෙත ළඟා වීමට ගත හැකි සියලු‍ විකල්ප මාර්ග සහ යෙදවුම් වල සුරක්ෂිත බව වෙනුවෙන් කල්වෙලා ඇතිව තීරණයන් ගත යුතුව ඇත. 

මෙබඳු දැඩි පීඩාකාරී පරිසරයක් තුළ සියලු‍ ක්ෂේත්‍ර අතර සම්බන්ධීකරණයක් සහිත ක්‍රියාමාර්ග සහ ප්‍රමුඛතා ක්ෂේත්‍ර හඳුනාගනිමින් එම ක්ෂේත්‍ර සඳහා දැඩි අවධානයක් යොමු කළ යුතු බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කරයි. මේ තත්වය පොහොර තොග නිසි පරිදි පවත්වා ගැනීමට පමණක් නොව විශේෂයෙන්ම කුඩා වැවිලිකරුවන්ගේ කාරක ප්‍රාග්ධනය සඳහා වන ප්‍රවේශය පුළු‍ල් කිරීම, උපායමාර්ගිත කළමනාකරණය සහ අලෙවි නොවූ තේ ගබඩා ධාරිතාව පුළු‍ල් කිරීමට සහාය වීම, සාම්ප්‍රදායික නොවන වෙළෙඳපොළ හඳුනාගනිමින් එම වෙළෙඳපොළ වෙත ප්‍රවේශය වේගවත් කිරීමෙන් මෙතෙක් අප විසින් රැකගෙන ආ සිලෝන් ටී නාමය ලෝකයේ ඉහළම තත්වයක පවත්වාගෙන යෑමට අපට හැකි වනු ඇත.