
කේ.ඒ. ජයසංඛ සඳුන් ජයසූරිය
පාරිසරික කළමනාකරණ අධ්‍යයනාංශය
සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය
ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය
ඉන්දියන් සාගරයේ සුවිශේෂි ස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව නිරන්තරයෙන් ස්වාභාවික ආපදාවලට මුහුණ දෙන රටකි. අතීතයට සාපේක්ෂව දේශගුණික විපර්යාසවල ප්‍රතිඵල මත ආපදා ඇතිවීමේ තීව්‍රතාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. එයට උදාහරණ ලෙස 1964, 1978, 1992 සහ 2000 වැනි කාලවලදී බරපතළ සුළිකුණාටු තත්ව ශ්‍රී ලංකාව තුළ ඇති වුවද මෑත කාලයේදී 2020-2025 අතර ආසන්න වශයෙන් සැලකිය යුතු බලපෑම් සහිත කුණාටු 06ක් පමණ සිදුව ඇත. ක්‍රමයෙන් ජල ගැලීම්, නායයෑම්ද වැඩිවීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන දත්ත අනුව පැහැදිලි වෙමින් පවතී.
එහෙත් ව්‍යවසනවලින් අනතුරුව අප දක්වන උනන්දුව ආපදාවල බලපෑම පහව ගිය පසු නොමැතිවීම නැවත ඇතිවන ආපදා තත්වයන්ගේ බලපෑම තීව්‍රවීමට ප්‍රධාන හේතුවක් වී ඇත. ආපදාවලට මුහුණ දීමට බොහෝ පිළිගත් ව්‍යුවහාත්මක ක්‍රමවේද පැවතිය ද බිම් මට්ටමේ ග්‍රාමීය ප්‍රජාව සහ වර්තමාන ළමා සහ තරුණ ප්‍රජාව තුළ මේ පිළිබඳව ඇති දැනුම ඒ සඳහා ප්‍රමාණවත්ද යන්න ගැටලුවකි. කඳුකර කලාපයේ වර්ධනය වන නිවාස ඉදිකිරීම් අදාළ භූමියට කෙතරම් උචිත ලෙස පිහිටා තිබේද යන්න මේ වනවිට ප්‍රශ්න කළ යුතු මාතෘකාවක් බවට පත්ව ඇත. කෙසේ වෙතත් දැවැන්ත හානියකට මුහුණ දුන් අප නැවත නැගී සිටිමට පෙර සිතිය යුතු කරුණු ගණනාවකි.
දේශගුණික විපර්යාස හමුවේ ක්‍රමයෙන් වර්ධනය වන ආපදා තත්ව සඳහා අප කෙසේ සූදානම් විය යුතුද.? / ආපදා තත්වයන්ගෙන් පසු නැවත සංවර්ධන කටයුතු කිරීමේදී සැලකිය යුතු කරුණු මොනවාද.? යන්න අවධානය යොමු කළ යුතු ප්‍රධානතම ප්‍රශ්න ද්විත්වයකි.
දේශගුණික විපර්යාස හමුවේ ක්‍රමයෙන් වර්ධනය වන ආපදා තත්වවලට අප කෙසේ සූදානම් විය යුතුද.?
දිට්වා සුළි කුණාටුව විශාල පිරිසක් අපෙන් උදුරගත් බව නොරහසකි. ඉදිරියේදී ඇති වන ආපදාවලින් මෙවැනි විපතක් සිදුවීම පාලනය කර ගැනීමේ ක්‍රියාන්විතය වර්තමානයේදීම ආරම්භ කළ යුතුය. කෙටි කාලයක් තුළ මහා වර්ෂා සහිත කාලගුණය ක්‍රමයෙන් අනාගතයේ වැඩි වන අතර වියළි කාලගුණය වැඩිවෙමින් පවතී. මෙහි බලපෑම සමාජ, ආර්ථික ආදී වශයෙන් බලපානු ඇත. ලාංකීය සන්දර්භය තුළ ඇති සාම්ප්‍රදායික දැනුම දෙස අවධානය යොමු කිරීමේදී අපට ආවේණික වූ වැව් එල්ලංගාව ඔස්සේ අනාගතයට විසඳුම් සෙවීමට හැකියාව පවතී. එනම්, කෙටි කාලයක් තුළ අපට ලැබෙන දැවැන්ත ජල කඳ සුවිශාල ජලාශ ඔස්සේ රැස් කර ගැනීමේ වැදගත්කමත් වසරක් තුළ වැඩි කාලයක් පවතින නියඟ කාලයේදී එම ජලය සමස්ත දිවයිනේම කෘෂිකාර්මික සහ දෛනික මහජන අවශ්‍යතා සඳහා භාවිත කිරීමේ හැකියාව පවතී. පවතින ජලාශ කිසිසේත්ම මේ සඳහා ප්‍රමාණවත් නොවන අතර සුවිශේෂී අධ්‍යයනවලින් පසුව සුදුසු පරිදි විශාල ජල ප්‍රමාණයක් රඳවා තබා ගැනීමට දැවැන්ත ජලාශ කිහිපයක් ස්ථාපිත කළ යුතුය.
එමෙන්ම ලාංකීය සමාජය තුළ ආපදා කළමනාකරණය පිළිබඳ මූලික දැනුම ළමා සහ තරුණ ප්‍රජාව තුළ ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාව ප්‍රධාන වේ. ආපදා කළමනාකරණ චක්‍රය ප්‍රායෝගික ලෙස භාවිත කිරීමට ප්‍රජා පාදක ක්‍රියාවලියක් සමාජ සන්දර්භය තුළ ස්ථාපිත කළ යුතුය. එහිදී සාම්ප්‍රදායික සහ දේශීය දැනුම් පද්ධති තුළ පවතින අනුවර්තන මුලපිරීම් පිළිබඳවද අවධානය යොමු කිරීම ප්‍රධාන වේ.
සිදුවූ මහ විපත අපට පසක් කළ ප්‍රධාන කරුණු අතර කඳුකර කලාපයේ බෑවුම් ආශ්‍රිත ඉදිකිරීම් පිළිබඳව නැවත සිතා බැලීම අවිවාදිතය. ඉතා සුදුසුම කලාප තුළ ක්‍රමාණූකූල මහල් නිවාස සංකීර්ණ ස්ථාපිත කරමින් බෑවුම් සහිත කලාපවල වන වගාව ප්‍රචලිත කිරීමේ වැදගත්කම ඉස්මතු වෙමින් පවතී. භෞතික සම්පත් නැවත නිර්මාණය කිරීමේදී අතීතයට සාපේක්ෂව වර්තමානයේදී තිරසර බව සහ පරිසර කේන්ද්‍රීය දෘෂ්ටිකෝෂයෙන් අවධානය යොමු කිරීම අතිශය වැදගත්ය. කෙසේ වෙතත් පරිසර කළමනාකරණය යන්න අනාගත අධ්‍යාපන පද්ධතිවල ප්‍රතිෂ්ඨාපිත විය යුතුම විෂය මාලාවක් බවට පත්ව හමාරය.
ආපදා තත්වයෙන් පසු නැවත සංවර්ධන කටයුතු කිරීමේදී සැලකිය යුතු කරුණු මොනවාද.?
තිරසර සංවර්ධන ක්‍රමෝපාය ලාංකීය සංදර්භය තුළ වර්තමානයේදී භාවිත කිරීම ඇගයීමට ලක්කළ යුතුම කරුණකි. පාරිසරික ඇගයීම් ක්‍රියාවලි, පාරිසරික තක්සේරු වාර්තා පිළිබඳව අවධානය යොමු කිරීම නූතන සමාජයේ වැදගත් සන්ධිස්ථානයක් බවට පත්ව ඇත. එහෙත් තවත් අවධානය යොමු කළ යුතු අංශ බොහෝ පවතී. ඒ අතුරින් මෙවැනි පරිසර පද්ධති හා සම්බන්ධිත සංවර්ධන කටයුතු ඇතුළු සියලු සංවර්ධන ක්‍රියාවලි කිරීමේදී සංවර්ධන සන්නිවේදනය ඉතා වැදගත් වේ. උගත් පාඩම් දෙස හැරී බැලීමේදී සංවර්ධන ක්‍රියාවලි ආශ්‍රිතව සන්නිවේදනය භාවිත කරමින් පරිසර කළමනාකරණය සහ පරිසර සංරක්ෂණය පිළිබඳව අවධානය යොමු කළ යුතුය.
සංවර්ධන සන්නිවේදනය පාරිසරික කළමනාකරණය සඳහා භාවිත කිරීමට ක්‍රමවත් ව්‍යුහයක් මේ තුළින් ගොඩනගා ඇත. ඒ පිළිබඳව අවධානය යොමු කිරීම නූතන සංවර්ධන ක්‍රියාවලි කිරීමට පෙර දෙවරක් සිතා බැලිය යුතුමය. ආපදා සිදුවීම වැඩි වුවද ඉන් සිදුවන බලපෑම අවම කර ගැනීමටත් පාරිසරික වෙනස්වීම් සඳහා අනුවර්තනය වීමටත් පරිසර කේන්ද්‍රීය වූ පාරිසරික කළමනාකරණ ප්‍රවේශයකට අවතීර්ණ විය යුතුය.
එමෙන්ම, ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මෑත කාලීන අනාවැකිවලට අනුව, 2025 දෙසැම්බර් වනවිට ක්‍රමයෙන් දුර්වල වන ලා නිනා තත්වයක් බෙංගාල බොක්ක කලාපය හරහා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එය ශ්‍රී ලංකාවට සහ දකුණු ආසියාවේ සමහර ප්‍රදේශවලට අඩු තීව්‍ර ඊසානදිග මෝසමක් ඇති වන බවට පෙර නිමිති වේ. ලා නිනා උදාසීන තත්වය කරා සංක්‍රමණය වනවිට සාමාන්‍යයෙන් ඊසානදිග මෝසම ශක්තිමත් කරන වායුගෝලීය සංසරණයේ ක්‍රියාවලිය අඩු වන අතර එමඟින් අධික වර්ෂාපතන සිදුවීම් ඇතිවීමේ සම්භාවිතාව අඩු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරි මෝසම සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ගෙන ඒමට ඉඩ ඇති බවට උපකල්පනය කළ හැකිය.

