ශ්‍රී ලංකා මහා බැංකුවේ 2025 වාර්ෂික ආර්ථික විවරණයෙන් කියවෙන යථාර්ථය



ජානක එදිරිසිංහ
නියෝජ්‍ය අධ්‍යක්ෂ, ආර්ථික පර්‌යේෂණ දෙපාර්තමේන්තුව, 
ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය නැවතත් වර්ධන මාවතට පිවිස ඇති නමුත් ඒ සඳහා පවතින අවදානම් තවමත් පහව ගොස් නොමැත.

2025 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ ගමන් මග බොහෝ අංශවලින් “නව පිටුවක් විවෘත කිරීමක්” ලෙස හැඳින්විය හැකිය. 2022 වසරේ දී ඉතිහාසයේ විශාලම ආර්ථික අර්බුදයට මුහුණ දීමෙන් පසු, වර්තමානය වනවිට ආර්ථිකය, ස්ථායීතාවෙන් ඉදිරියට ගොස් වර්ධන මාවත කරා යොමු වීම ආරම්භ වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ 2025 වාර්ෂික ආර්ථික විවරණයෙන් ආර්ථීකයේ එම ගමන් මග පැහැදිලිව දක්වා ඇත. ආර්ථිකය නැවත වර්ධන මාවත කරා යොමු වී ඇතත්, දේශීය හා ගෝලීය වශයෙන් පවතින අභීයෝග හමුවේ, ආර්ථිකයේ ඉදිරි ගමන් මග තවමත් සම්පූර්ණයෙන්ම අවදානම් රහිත නොවේ.

ආර්ථීකය යථා තත්වයට පත්වීම, අවිනිශ්චිත හෝ තාවකාලික දෙයක් නොව, පැහැදිලිව දක්නට ලැබෙන යථාර්ථයක් බව මෙම වාර්තාවෙන් විශේෂයෙන් පෙන්වා දී ඇත. 2025 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.0කින් වර්ධනය විය. ආර්ථික අර්බුදය පැවති සමයේ සිදුවූ විශාල ආර්ථික සංකෝචනයෙන් පසු (සෘණ ආර්ථික වර්ධනය) 2024 සහ 2025 වසර දෙක තුළ ආර්ථීකය අඛණ්ඩව වර්ධනය වීමක් සිදු විය. වැදගත්ම කරුණ නම්, ආර්ථිකයේ අංශ කිහිපයකට පමණක් සීමා නොවී සමස්තයක් ලෙස සියලු‍ම අංශ මෙම වර්ධනයට දායක වී තිබීමය. එනම්, කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා යන සියලු‍ම ක්ෂේත්‍ර මෙම වර්ධනයට අඩු වැඩි වශයෙන් දායක වී ඇත. කර්මාන්ත ක්ෂේත්‍රය ආර්ථික වර්ධනයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන අතර, සේවා ක්ෂේත්‍රය ද ක්‍රමයෙන් යථා තත්වයට පත් වෙමින් පවතී. එහෙත් කෘෂිකර්මය තවමත් කාලගුණික හා පිරිවැය අවදානම්වලට යටත්ව ඇත.

මෙම වර්ධන මාවතට ප්‍රධාන හේතු කාරණා වන්නේ නිවැරදි ආර්ථීක ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක වීමත්, සාර්ව ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව පවත්වා ගැනීමත්, එතුළින් ආර්ථිකය පිළිබඳ විශ්වසනීයත්වය තවදුරටත් ඉහළ නැංවීමත්ය. එසේම, ඉතා වේගවත් ලෙස නොවුණත් ක්‍රමවත්ව ක්‍රියාත්මකවන ආර්ථික ස්ථායීකරණ ප්‍රයත්න ආර්ථික ක්‍රියාකාරකම් යළි සාමාන්‍ය තත්වයට පත් කිරීමට දායක වී ඇත.

එමෙන්ම, 2025 වසරේ දී, ආර්ථික වශයෙන් වැදගත් කඩඉම් කිහිපයක් ද සම්පූර්ණ විය.

ශ්‍රී ලංකා ආර්ථිකය ඩොලර් බිලියන 100 ඉක්මවා ගොස් ඇත

ඒක පුද්ගල ආදායම ඩොලර් 5,000 ඉක්මවා ගියේය. 

ආර්ථීකයේ සමස්ත නිෂ්පාදන මට්ටම ආර්ථික අර්බුදයට පෙර තත්වයට ආසන්න විය. 

මෙය සංඛ්‍යාත්මක දත්තවලට වඩා, ආර්ථිකය නැවත ශක්තිමත් වෙමින් පවතින බවට පෙන්නුම් කිරීමක් වේ. 

උද්ධමනය හා උද්ධමන අපේක්ෂා

2025 වසරේ දී උද්ධමනය ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වයට අහිතකර තත්වයක් නිර්මාණය නොකර ඉතා අඩු අගයක පාලනය වී පැවතුණි. ආර්ථික අර්බුදය පැවති සමයේ දැඩිව ඉහළ ගිය උද්ධමනය, නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති හමුවේ 2023 වසරේ දී අඩු මට්ටමකට රැගෙන ඒමට හැකි වූ අතර එතැන් පටන් අඩු හා ස්ථාවර මට්ටමක පැවතුණි. 2024 අග භාගයේ දී උද්ධමනය සෘණ අගයකට පත් වූ අතර එම තත්වය 2025 අගෝස්තු දක්වාම පැවතුණි. මාස 11 ක් පුරාවට සෘණ උද්ධමනයක් පැවතිය ද, එය ආර්ථිකයේ සමස්ත ඉල්ලු‍ම අඩු කිරීමට වූ බාධාකාරී තත්වයක් නිර්මාණය නොකළ බව ආර්ථික වර්ධනයට දායක වූ සාධක මගින් පැහැදිලි වේ. අඩු උද්ධමනය මගින් ගෘහස්ථ හා ව්‍යාපාර මත තිබූ පීඩනය ද යම් ප්‍රමාණයකට අඩු විය.

එහෙත් මෙහි අවධානය යොමු කළ යුතු අංශ ඇත. ශ්‍රී ලංකාව ආනයනික ඉන්ධන මත දැඩි ලෙස රඳා පවතින බැවින්, ලෝක තෙල් මිල ගණන් ඉහළ යාම වැනි වෙනස්කම් ඉතා වේගයෙන් දේශීය මිල මට්ටම්වලට බලපෑම් ඇති කරයි. ඒ අනුව, උද්ධමනය පාලනය කරගැනීමෙන් පසුව, එය සියයට 5ඉලක්කගත මට්ටමේ තබා ගැනීමේ අභියෝගය ඉදිරියට ඇත. ඒ අනුව, ඉදිරි දැක්මකින් යුතු මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමක් හරහා උද්ධමනය ඉලක්කගත මට්ටම වටා පවත්වා ගැනීමට හා උද්ධමන අපේක්ෂා පාලනය කිරීමට මහ බැංකුව කටයුතු කරනු ඇත. 

විදේශීය අංශය ඉතා යහපත් වර්ධනයක් පෙන්නුම් කර ඇති නමුත් අවදානම් තවදුරටත් පවතියි.

කොවිඞ් වංසගතයත් සමඟ වසර 5ක කාලයක් වාහන ආනයනය නවතා තිබූ ශ්‍රී ලංකාව 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට පෞද්ගලික වාහන ආනයනයට අවසර ලබා දීමත් සමඟ වසර මුල දී අපේක්ෂා කළ වාහන ආනයනය සඳහා වන වියදම් පුරෝකථන අභිබවා වාහන ආනයනය සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. ඒ අනුව, මේ දක්වා වාර්තා වූ ඉහළම අපනයන ආදායම 2025 වසරේ වාර්තා වුවද, අපනයන ආදායමට වඩා වේගවත්ව ආනයන වියදම ඉහළ යාම හමුවේ වෙළෙඳ හිඟය ද 2024 වසරට සාපේක්ෂ්ව සැලකිය යුතු ලෙස ඉහළ යාමක් වාර්තා විය. 

2025 වසරේ දී සංචාරක ආදායම 2024 වසරට සාපේක්ෂව විශාල වශයෙන් වර්ධනය නොවූවද, සංචාරකයන්ගේ පැමිණීම කොවිඩ් වසංගතයට පෙර පැවැති සංචාරක ආකර්ෂණය දිනාගැනීමට සමත් විය. මේ අතර, 2025 වසරේ දී විදේශීය ප්‍රේෂණ ලැබීම් මෙතෙක් වාර්තා කළ ඉහළම අගය වාර්තා කළේය. මෙම සියලු‍ම අංශවල ප්‍රතිඵලයක් ලෙස, 2023 වසරේ සිට අඛණ්ඩව විදේශීය ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කරමින්, 2025 වසරේ දී පෙර වසර දෙකටම වඩා ඉහළ විදේශීය ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කිරීමට හැකි විය. පැවැති හිතකර දේශීය විදේශ අංශයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවට එ.ජා ඩොලර් බිලියන දෙකක විදේශ විනිමය ප්‍රමාණයක් දේශීය වෙළෙඳපොළෙන් මිලදි ගැනීමට හැකි වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දළ නිල සංචිත 2025 වසරේ දී තවදුරටත් වර්ධනය විය.

බැංකු හා මූල්‍ය පද්ධතිය ශක්තිමත් ලෙස වර්ධනය වෙමින් පවතී

බැංකු හා මූල්‍ය ආයතනවල කාර්යසාධනය 2025 වසරේ දී තවදුරටත් වැඩි දියුණු වී ඇති අතර, වත්කම් හා ද්‍රවශීලතා මට්ටම් ශක්තිමත් වී ඇත. මූල්‍ය පද්ධතිය හරහා පෞද්ගලික අංශයට ණය ප්‍රවර්ධනය ද වැඩි වී ඇත. එසේම බැංකු අංශයේ 3වන අදියරේ පවතින ණය අනුපාතය (අක්‍රීය ණය) අඛණ්ඩව ක්‍රමයෙන් අඩුවෙමින් පවතියි. 2025 වසර මූල්‍ය ආයතන ලාබදායීත්වය වර්ධනය කරගත් වසරක් වූ අතර ප්‍රාග්ධන ස්වාරක්ෂක 2024 වසරට වඩා යම් අඩුවීමක් වූවද, එය තබාගත යුතු අවම මටට්මට වඩා ඉහළ අගයක පවත්වා ගනිමින් මූල්‍ය පද්ධතිය ආරාක්ෂකාරී ලෙස පැවතුණි. එහෙත්, වේගවත් ණය වර්ධනය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් යම් යම් ක්ෂේත්‍රවල නව අසමතුලිතතා ඇති විය හැක. එබැවින්, ඇතිවිය හැකි දේශීය හා ගෝලීය අවිනිශ්චිතතා හමුවේ සාර්ව මූල්‍ය තත්වයට අවදානමක් ඇති වුවහොත් ඒ සඳහා සුදුසු පරිදි සාර්ව විචක්ෂණශීලි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගනු ඇත. 

ගෝලීය අවිනිශ්චිතතා ආර්ථික වර්ධනයට නව අවදානමක්

ශ්‍රී ලංකාවේ ආර්ථීක වර්ධන මාවත අඛණ්ඩව පවත්වා ගැනීමට ඇති එක් විශාලතම අවදානම ගෝලීය වශයෙන් පැමිණේ.

ශ්‍රී ලංකාව තවමත් ගෝලීය වෙනස්කම්වලට අධික ලෙස සංවේදීය:

ගෝලීය වෙළෙඳ භාණ්ඩ මිල විශාල වශයෙන් උච්චාවචනය වීම 

ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමට ඇති පීඩනය 

ගෝලීය වෙළෙඳ ඉල්ලු‍ම් වෙනස්වීම් 

ගෝලීය භූ දේශපාලනික තත්වයේ වෙනස්වීම්

මැදපෙරදිග යුදමය තත්වය කාලයක් පුරා ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකා ආර්ථිකයට අංශ කිහිපයක් ඔස්සේ සැලකිය යුතු බලපෑමක් කළ හැකිය. බලශක්ති අවදානම: තෙල් මිල දිගුකාලීනව ඉහළ යාම සිදුවවහොත් ඉන්ධන ආනයන වියදම වැඩි වී, වෙළෙඳ හිඟය තවදුරටත් පුළුල් වීමට හැකි අතර, බලශක්ති මිල වැඩිවීම තුළින් උද්ධමන පීඩන ද වැඩි විය හැක. සංචාරක අවදානම: සෘජුවම මැදපෙරදිගින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සම්පූර්ණ සංචාරක පැමිණීම්වලින් සාමාන්‍යයෙන් සියයට 3ක් පමණක් වුවද, විශේෂයෙන් යුරෝපයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට ගල්ෆ් ගුවන් මධ්‍යස්ථාන ඉතා වැදගත් වේ. එබැවින්, ගල්ෆ් කලාපයේ යුදමය බාධා හෝ අවදානම්, කලාපීය හා වෙනත් ගමනාන්ත වෙත සංචාරයන් සිදුකරන සංචාරක ප්‍රවාහ අඩු කිරීමට හේතු විය හැක. ජාත්‍යන්තර වෙළෙඳ අවදානම: වෙළෙඳ බාධා හා නාවික ප්‍රවාහන වියදම් ඉතා විශාල ලෙස වැඩි වීම නිසා අපනයන ඉල්ලු‍ම අඩුවීමට ඉඩ ඇත. එය මැදපෙරදිගට පමණක් නොව, අනෙකුත් රටවලට ද අපනයනය පහළ යාමක් විය හැකි අතර එය දේශීය ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීමකට ද ඉඩ පෑදීමක් විය හැක. විදේශීය ප්‍රේෂණ අවදානම: ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණවලින් සියයට 45ක පමණ ප්‍රමාණයක් ලැබෙනුයේ මෙම ගල්ෆ් කලාපය තුළිනි. යුදමය බාධා දිගුකාලයක් පැවතුණහොත් විදේශගත ශ්‍රමික ප්‍රේෂණ අඩුවීමට ඉඩ ඇති අතර, රටට ලැබෙන විදේශ විනිමය ආදායම් අඩු වීම හේතුවෙන් ශ්‍රී ලංකා රුපියලට යම් අවප්‍රමාණය වීමේ පීඩන එල්ල විය හැකිය.

සමස්තයක් ලෙස ගෝලීය බලශක්ති මිල ගණන් වැඩිවීම හා අවිනිශ්චිත ගෝලීය භූ දේශපාලනික තත්වය හේතුවෙන් විදේශ අංශයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට ඉහළ බලපෑමක් කිරීමේ හැකියාවක් පැවතිය හැකිය. මෙම යුද තත්වය කොපමණ ප්‍රබලත්වයකින්, කොපමණ කාලයක් පුරාවට පවතී ද යන්න මත ශ්‍රී ලංකා ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම තීරණය වනු ඇත. 

මෙවැනි පසුබිමක, ආර්ථික ප්‍රතිපත්ති තීරණ ගැනීම වඩාත් සංකීර්ණ වන අතර ප්‍රතිපත්ති තීරණ ගැනීම සමතුලිතතාවක් සහිතව කළ යුතුය.

2025 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අවධානය වූයේ:

ළඟාකරගත් මිල ස්ථායීතාව අඛණ්ඩව පවත්වා ගැනීම

මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව තවදුරටත් ශක්තිමත් කිරීම

බාහිර සංචිත ශක්තිමත් කිරීම 

ඉදිරියට, මෙම සමතුලිතතාව පවත්වා ගැනීම අභියෝගාත්මක විය හැක. ඒ අනුව ඉදිරියේ දී ප්‍රතිපත්ති සම්පාදනය ප්‍රධාන වශයෙන්ම:

ඉලක්කගත සියයට 5ක ආසන්නයේ උද්ධමනය පාලනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මකවනු ඇත.

වෙළෙඳපොළ බලපෑම් මත තීරණය වන විනිමය අනුපාතිකය ක්‍රමවේදය ආරක්ෂා කරමින් බාහිර පීඩන කළමනාකරණය කිරීමට පෙළඹිය හැක.

අඛණ්ඩ හා විශ්වාසනීය ප්‍රතිපත්ති සංශෝධන මගින් විශ්වාසය පවත්වාගෙන යාම සිදුකළ යුතුය.

වර්තමානය වනවිට ආර්ථිකය ස්ථායීකරණය කිරීමේ අදියර බොහෝ දුරට සාර්ථකව ඉටු වී ඇත. එහෙත් ශ්‍රී ලංකාවට අඛණ්ඩව මෙම වර්ධන මාවතේම ගමන් ගැනීම අභියෝගාත්මක වනු ඇත. 

ආර්ථීකයේ ඉදිරි ගමන් මඟ

ආර්ථීකය යථා තත්වයට පත්ව ඇත. එහෙත් තවමත් සුරක්ෂිත නොවේ. 2025 වාර්ෂික විවරණයෙන් ලැබෙන පණිවිඩය පැහැදිලිය.

ශ්‍රී ලංකාව:

ස්ථායීතාව නැවත ලබාගෙන ඇත 
විශ්වාසය යළි ගොඩනැගෙමින් පවතී 
වර්ධනය මාවතට යළි පිවිසී ඇත 
එහෙත්:
බාහිර අවදානම් තවමත් පවතී 
ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම් බලපෑම් ඇති කරයි 
ආර්ථිකයේ ව්‍යුහාත්මක සංශෝධන තවදුරටත් අවශ්‍ය වේ 
ඒ අනුව, ආර්ථිකය යථා තත්වයට පත්වීම සැබෑ වුවද, එය තවමත් සම්පූර්ණයෙන්ම ආරක්ෂිත නැත. ආර්ථිකය අඛණ්ඩව ඉදිරියට යාමට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති අඛණ්ඩතාව සහ දිගුකාලීන ව්‍යුහාත්මක සංශෝධනවලට කැපවීමයි.