විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සියයට 99ක් අවසන් - ලෝක බැංකු නව වාර්තාව හෙළි කරයි


  • විදෙස් ණයෙන් සියයට 94ක් මේ වනවිට ප්‍රතිව්‍යූහගත කර අවසන්
  • ලංකාව බාහිර ණය හිමියන් සමග ද්වී පාර්ශ්වික ගිවිසුම් 17 කට එකඟවෙලා
  • බාහිර ණය හිමියන් එකඟවූ ගිවිසුම් 8 කට තවමත් අත්සන් තබා නෑ
  • ප්‍රගතියක් අත්කරගෙන තිබුණ ද, ඊට අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ කටයුතු තවමත් සම්පූර්ණ වී නෑ

විමුක්ති එස්. රුද්‍රිගු


මෙරට විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට අදාළ වූ විදෙස් ණයෙන් සියයට 94ක් මේ වනවිට ප්‍රතිව්‍යූහගත කර අවසන් බවත් මූලික එකඟතාවලට එළැඹ ඇති ණයද සැලකිල්ලට ගත්විට මෙරට විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සියයට 99ක් අවසන් බවත් ලෝක බැංකුව නිකුත් කළ ගෝලීය ස්වෛරීත්ව ණය පිළිබඳ වටමේස සමුළුවේ සම සභාපතිවරුන්ගේ ප්‍රගති වාර්තාවේ දැක්වේ.

එසේම ශ්‍රී ලංකාව බාහිර ණය හිමියන් සමග ද්වී පාර්ශ්වික ගිවිසුම් 17 කට එකඟ වී තිබෙන බවත් මේ වනවිට ඉන් 9කට අත්සන් තබා තිබෙන බවත් එම වාර්තාව පෙන්වා දෙයි. ඒ අනුව තවමත් ශ්‍රී ලංකාව සහ බාහිර ණය හිමියන් එකඟවූ ගිවිසුම් 8 කට අත්සන් තැබීමට ඉතිරිවී තිබෙන බවද ලෝක බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ.

ඉතිරිව ඇති බාහිර ණය හිමියන් කීපදෙනා සමග ශ්‍රී ලංකාව තවදුරටත් සාකච්ඡා කරන බව එම වාර්තාව පෙන්වා දෙයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදාළ ණය හුවමාරු ක්‍රියාවලිය සහ ද්විපාර්ශ්වික ණය ගිවිසුම් සම්බන්ධයෙන් අත්කරගෙන ඇති ප්‍රගතිය, සමස්ත ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීමට ආසන්න තත්වයකට ගෙන ඒමට හේතු වී ඇති බව ද එම වාර්තාව සඳහන් කරයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබුණ ද, ඊට අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ කටයුතු තවමත් සම්පූර්ණ වී නොමැති බව මෙම දත්තවලින් පැහැදිලි වේ. 

මෙම ඇස්තමේන්තුව සිදුකර ඇත්තේ පසුගිය සැප්තැම්බර් 18 වැනිදා වනවිට පැවැති තත්වය පදනම් කරගෙන බවත් ඇස්තමේන්තුවට අයත් වී ඇත්තේ පසුගිය 2023 වසරේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට ඇතුළත් වූ ණය පමණක් බවත් එම වාර්තාවේ සඳහන් වේ.

එසේම හැමිල්ටන් රිසර්ව් බැංකුව ණය ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ගොනුකර ඇති නඩුවේ අවසන් තර්ක පසුගිය ජූනි සහ අගෝස්තු අතර කාලයේදී දෙපාර්ශ්වය ගොනුකර අවසන් බවත් ඉතිරිව ඇත්තේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන දිනය පමණක් බවත් එම වාර්තාවේ දැක්වේ.

කෙසේ නමුත් හැමිල්ටන් නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන දිනයක් තවමත් ප්‍රකාශ කර නොමැති බවද එම වාර්තාවේ සඳහන් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට අරමුදල් වැඩසටහන අනුමත කර දිනයේ සිට විදේශීය ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ බැඳුම්කර හුවමාරුව අවසන් කළ දිනය දක්වා මාස 23ක් කාලයක් ගතවී තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ.