වාණිජ බැංකු කෘත්‍රිම බුද්ධියට යොමු වුණත් එය භාවිතය අඩුයිලු‍


  • බැංකු අතරින් සියයට 69ක් කුමන හෝ කෘත්‍රිම බුද්ධියක් යොදා ගනී 
  • සියයට 31ක්ම තවමත් කිසිදු ආකාරයක කෘත්‍රිම බුද්ධි භාවිතයකට යොමුව නෑ 
  • දේශිය කෘත්‍රිම බුද්ධි හැකියාවසීමාවීම ප්‍රධාන ගැටලු‍වක් 
  • කෘත්‍රිම බුද්ධිය භාවිතයත් සමග සයිබර් ප්‍රහාරවලට නිරාවරණය පුළුල් කරලා 

ලංකාවේ ක්‍රියාත්මක බලපත්‍රලාභී බැංකුවලින් සියයට 69ක්ම කිසියම් ආකාරයක කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ ක්‍රියාකාරකම් ආරම්භ කර ඇතත්, ඒවායේ භාවිතය තවමත් අඩු මට්ටමක පවතින බව මහ බැංකුව පවසයි. 

ශ්‍රී ලංකා මහ බැංකුව 2025 නොවැම්බර් මාසයේදී මෙරට බලපත්‍රලාභී බැංකු සියල්ලම ආවරණය වන පරිදි කෘත්‍රිම බුද්ධි භාවිතය, පාලනය, අවදානම් කළමනාකරණය, දත්ත සූදානම සහ උපායමාර්ගික ප්‍රමුඛතා සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයෙන් මෙම කරුණු අනාවරණය වී තිබේ. 

විශේෂයෙන්ම මෙම තාක්ෂණය හරහා වේගවත් සේවා සැපයීම, නිරන්තර සේවා ලබා ගැනීමේ ඇති හැකියාව සහ අඩු සේවා පිරිවැය යනාදී ප්‍රධාන පාරිභෝගික ප්‍රතිලාභ ලෙස හඳුනාගෙන ඇති බවත්, ඒ අනුව බැංකු කිහිපයක් එම තාක්ෂණය වෙත යොමුව තිබෙන බවත් සඳහන් වෙයි. 

අදාළ සමීක්ෂණයට අනුව බලපත්‍රලාභී බැංකුවලින් සියයට 31ක්ම කිසිදු ආකාරයක කෘත්‍රිම බුද්ධි භාවිතයක් සහ භාවිතය සඳහා ක්ෂණික සැලසුම් නොමැති බව වාර්තා කර ඇත. ඉන් සියයට 21ක් ගවේෂණාත්මක හෝ ශක්‍යතා අධ්‍යයන අදියරේ පසුවන අතර, සියයට 17ක් නියමු ව්‍යාපෘති සංවර්ධනය කරමින් පවතින බවත් වාර්තා කර ඇත. 

එසේම සියයට 31ක් සජීවී යෙදවුම් වෙතද, එයින් සියයට 10ක් සීමිත ක්ෂේත්‍රවලද, සියයට 17ක් බහු කාර්යයන් සඳහාද, සියයට 4 ක් පුළුල් ඒතාබද්ධ කිරීමක් සහිතව කෘත්‍රිම බුද්ධිය ක්‍රියාත්මක් කර ඇතැයි සඳහන් වෙයි. 

කෙසේ වෙතත්කි සිදු බැංකුවක් කෘත්‍රිම බුද්ධිය මුල් කරගත් ආකෘතියක් ක්‍රියාත්මක කරන බවත් මෙම සමීක්ෂණයට වාර්තා වී නැත. 

 “දැනට පවතින කෘත්‍රිම බුද්ධිය ප්‍රධාන වශයෙන් වංචා සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම අධීක්ෂණය, ණය ලකුණු ගණනය, පාරිභෝගිකයා සම්මුඛ වන චැට්බොට්, ලේඛන සැකසීම සහ අභ්‍යන්තර ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ යෙදවුම් වටා කේන්ද්‍රගත වී ඇත.’’ මහ බැංකුව පවසයි. 

මේ අතර බලපත්‍රලාභී බැංකු කෘත්‍රිම බුද්ධියට අනුගතවීමේදී මුහුණ දුන් ප්‍රධාන ගැටලු‍ 10ක් හඳුනාගෙන තිබේ. එහිදී දේශිය කෘත්‍රිම බුද්ධි හැකියාව සීමාවීම ප්‍රධාන බව සියයට 17ක් ප්‍රතිචාර දක්වා ඇත. එසේම සයිබර් ආරක්ෂණය සහ අවදානම් සැලකීම් සියයට 15ක් දක්වා තිබේ. ඉහළ ක්‍රියාත්මක කිරීම් පිරිවැය ගැටලු‍වක් බව සියයට 15ක් දක්වා ඇත. 

එසේම නියාමන අවිනිශ්චිතතාව සහ අනුකූල වීම මෙන්ම නීති පද්ධතිය සමග ඒකාබද්ධවීම ගැටලු‍ බව සියයට 12ක් සහ සියයට 11ක් ප්‍රතිචාර දක්වා ඇත.

තාක්ෂණික යටිතල පහසුකම් සිමා වීම ගැටලු‍වක් බව සියයට 10කගේ ප්‍රතිචාරය වී තිබේ. දත්ත ගුණාත්මකභාවය සහ ලබා ගැනීමේ ගැටලු‍ පවතින බව සියයට 8ක් පවසා තිබේ. මීට අමතරව වෙනස්වීම සඳහා සංස්කෘතික බලපෑම් සියයට 5ක් ලෙසද, වෙළෙඳුන් තෝරා ගැනීම සහ කළමනාකරණය ගැටලු‍වක් බව සියයට 4ක් ලෙසද ප්‍රතිචාර දක්වා තිබේ. පාරිභෝගික පිළිගැනීම සහ විශ්වාසය ගැටලු‍වක් බව සියයට 3 ක් පවසා ඇත. 

බලපත්‍රලාභී බැංකුවලින් සියයට 62ක් ජාත්‍යන්තර තාක්ෂණ සමාගම් සමග හවුල්කාරීත්ව පවත්වන බවත්, දේශීය තාක්ෂණ සමාගම් සම්බන්ධය සියයට 24ක් බව පැවසෙයි. එසේම කලාපීය මූල්‍ය තාක්ෂණ සමාගම් සහ විවෘත මූලාශ්‍ර විසඳුම් (ඕපන් සෝස් සොලියුෂන්ස්) වෙත යොමු වීම් සියයට 21ක් බැගින් වෙයි. 

කෙසේ වෙතත් කෘත්‍රිම බුද්ධිය මගින් පිරිවැය අඩු කරන අතර, බැංකු සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන් වෙත එල්ල වන ප්‍රහාරවල බලපැමද ඉහළ නංවන බව මහ බැංකුව සඳහන් කරයි. 

“ප්‍රධාන පද්ධතිමය අවදානම මතු වන්නේ නව ප්‍රහාරක ක්‍රම නිසා නොව, පුළුල් ලෙස භාවිත වන තාක්ෂණයන් හරහා අවදානම් හඳුනාගැනීමට සහ ඒවායින් අයුතු ප්‍රෙයා්ජන ගැනීමට කෘත්‍රිම බුද්ධිය මගින් ඉඩ සලසන වේගය, වාර ගණන පුළුල් බව නිසාය.“ 

ඒ අනුව කෘත්‍රිම බුද්ධිය භාවිතයත් සමග සයිබර් ප්‍රහාරවලට නිරාවරණය වීමේ ඉඩකඩද පුළුල් කර තිබෙන බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසයි. 

එසේම බැංකු විසින් එකම සීමිත ක්ලවුඩ් (Cloud)  සහ ආකෘති සපයන්නන් පිරිසක් මත යැපෙන විට, තනි සැපයුම්කරුවකුට එල්ල වන ප්‍රහාරයක් හෝ බිඳ වැටීමක් එකවර බලපාන පොදු ආකාරයේ අසාර්ථකත්වයක් විය හැකි බවත් මෙවැනි කරුණු ශ්‍රී ලංකාව සඳහා ප්‍රායෝගික අනතුරු ඇඟවීමක් බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසයි.