
(හර්ෂණ තුෂාර සිල්වා)
කොළඹ වරාය නගරයට ආයෝජන ආකර්ශනය කරගැනීම සඳහා මීළඟ සභාවරයට නව පනතක් ඉදිරිපත් කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (25) ප්‍රකාශ කළේය.
කොළඹ වරාය නගරයට සෘජු විදෙස් ආයෝජන ආකර්ශනය කරගැනීමේ විශේෂ පනතක් ලෙස මෙය ඉදිරිපත් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
කොළඹ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේ අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම කරුණු සඳහන් කළේය.
පසුගිය වසර පහ තුළ එවැනි පනතක් සම්මත කරගැනීමට නොහැකි වීමත් ඒ සඳහා නීති ප්‍රතිපාදන නොමැති වීමත් යන කරුණු හේතුවෙන් රට තුළට විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීමට නොහැකි වූ බව ද කබ්රාල් අමාත්‍යවරයා කීවේය.
ඒ තුළින් රට තුළට නව සෘජු විදෙස් ආයෝජන ගෙන ඒමට බලාපොරොත්තු වන බව ද ඔහු කීය.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කොළඹ මධ්‍යම වාණිජ කලාපයේ දිගුවක් ලෙස ඉදිවන අතර ඒ වෙනුවෙන් කර ඇති මූලික ආයෝජනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4කි. එහි සමස්ත ආයෝජන වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක් වන අතර නව්‍යතම නගර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ.
මුහුද ගොඩ කිරීමෙන් බිහිකරන හෙක්ටයාර 269 ක මෙම අලුත්ම භූමි ප්‍රමාණය වත්මන් කොළඹ වාණිජ කලාපයට සහ සම්බන්ධීය කෙරේ. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, මූල්‍ය කලාපය, මධ්‍යම උද්‍යාන වාසය, ජාත්‍යන්තර දිවයින, යාත්‍රාංගනය හා දූපත් වාසය ලෙස අනු කලාප 5 කින් සමන්විතය.
ඉදිකිරීම් අවසන් වූ විට කොළඹ වරාය නගරය, වර්ග මීටර ලක්ෂ 57 ක් වූ භෞමික අවකාශයක නිර්මාණය වුණු ලොව උසස්ම මට්ටමේ ඒ ශ්‍රේණිගත කාර්යාල සංකීර්ණ, අති නවීන සෞඛ්‍ය සේවා, ප්‍රමිතිගත අධ්‍යාපන සේවා පහසුකම්, බහුවිධ සේවා පහසුකම්, සැහැල්ලු යාත්‍රාංගණ, සුපිරි සාප්පු සංකීර්ණ, හෝටල් සහ විනෝදාස්වාදය සැපයීම සඳහා වෙන්වුණු විශේෂිත පහසුකම් වලින්ද සමන්විතය. නූතන පරිසර හිතකාමී තිරසාර නගර සංකල්පය සහ සුහුරු නගර සංකල්පය අනුව කොළඹ වරාය නරගය ඉදි කෙරේ.

