බුලත් වවා රට යවන ගොවීන්ගේ අර්බුදය


පකිස්තානය අපගේ ප්‍රධානතම බුලත් ගැනුම්කරුවායි

වගාව ප්‍රචලිතව ඇතත් එයට ලැබෙන රාජ්‍ය අනුග්‍රහය ඉතා අල්ප බවට ගොවීන්ගෙන් මැසිවිලි

බුලත් ගොවියන්ට මොනදේ වුණත් බලන්න කෙනෙක් නෑ

ඉස්සර රුපියල් තිහකට විතර ගිය කොළයක් දැන් යන්නේ රුපියල් දොළහ, පහළොව වගේ ගණන්වලට

ඉනි හොයාගැනීම බුලත් ගොවියන්ට දැන් තිබෙන ලොකුම ගැටලු‍වක් 

සාමාන්‍ය කොටුවකට ඉනිවලට පමණක් රුපියල් හැට හැත්තෑදාහක් අවශ්‍යයි


බුල්නෑව ප්‍රදීප් රණතුංග 


චිරාත් කාලයක් මුළුල්ලේ මෙරට ජන ජීවිත හා බැඳී පවතින බුලත්  දෙවියන්, බුදුන් උදෙසා කෙරෙන වගාවක් ලෙස අද ද සාම්ප්‍රදායික ගැමියන්ගේ බුහුමන් ලබයි. සිංහලයාගේ ආර්ථික පක්ෂයේ මුර්තියක් වශයෙනුත් සාමයේ හා සහෝදරත්වයේ සංකේතයක් ලෙසත් බුලත් උසස් කොට සැලකේ. ගැති නැති ආර්ථික පිළිවෙතක් පිළිබඳ සාකච්ඡා කෙරෙන මෙසමයෙහි මෙරට බුලත් ගොවීන්ට ද විශේෂ වටිනාකමක් දිය යුතුව ඇත.

මෙරට තුළ වර්තමානයේ දේශීය පරිභෝජනය සහ අපනයන සඳහා බුලත් වගා කරනු ලබයි. බුලත් වගා කරන ප්‍රධාන පෙළේ රටක් ලෙසද ශ්‍රී ලංකාව ලෝක මට්ටමින් පිළිගැනීමට ලක්ව ඇත. ආසියාතික කලාපයේ ඉන්දියාව, තායිලන්තය සහ බංගලිදේශය වැනි රටවල ද බුලත් වගාව ව්‍යාප්තව පවතී. පකිස්තානය අපගේ ප්‍රධානතම බුලත් ගැනුම්කරුවා වේ.

දානය, පිරිත, පාංශුකූලය ආදි මංගල, අවමංගල කටයුතු සඳහා බුලත් වවා රට පැටවීම දක්වා මෙරට බුලත් වගාව ප්‍රචලිතව ඇතත්, ඒ සඳහා ලැබෙන රාජ්‍ය අනුග්‍රහය ඉතා අල්ප බව ගොවි මැසිවිල්ල වී තිබේ. දේශීය වෙළෙඳපොළෙන් ඔබ්බට බුලත් වගාව සරුකළ හැකි වුවත් එය වගාවේ නියුතු ගොවීන්ට පමණක් හුදකලාව කළ හැක්කක් නොවේ. 

වසර ගණනාවක් තිස්සේ බුලත් වගාවේ අත්දැකීම් ලබා ඇති අනුරාධපුරය, තලාව, තලාකොලවැව ගමේ ටී. බී. ජයසේන මහතා පැවසුවේ මෙවැන්නකි.

“රට යවන කලු‍ බුලත් තමයි අපි වගා කරන්නේ. ගොවිතැන හොඳයි ආදායමක් ගන්න පුළුවන්. ඒත් වෙලා තියෙන්නේ ලොකු වියදමක් දරලා අවසානේ මොකක් හරි කරදරයක් වුණොත් හැමදේම ඉවරයි. සමහර ගොවිතැන් පාලු‍ වුණාම වන්දි ගෙවීමක් කරනවා. ඒත් බුලත් ගොවියන්ට මොනදේ වුණත් බලන්න කෙනෙක් නෑ. සමහරු ණයවෙලා තමයි ගොවිතැන් කරන්නේ. හරි අස්වැන්නක් ගන්න බැරිවුණොත් ලොකු ණය උගුලක පැටලෙනවා. පහුගිය දවස්වල පාකිස්තානෙට ආපු ගම් වතුර හින්දා බුලත් මිල ටිකක් පහළට වැටුණා. ඉස්සර රුපියල් තිහකට විතර ගත්ත කොළයක් දැන් යන්නේ රුපියල් දොළහ, පහළොව වගේ ගණන් වලට.”

බහුවාර්ෂික වගාවක් ලෙස බුලත් ලංකාව පුරාම වගා කිරීම සිදු කරයි.  බුලත් කොළය ප්‍රධාන වාණිජ නිෂ්පාදනය වේ. ශ්‍රී ලංකිකයන්ගේ බුලත් සැපීමේ පුරුද්ද කි.පුර්ව 340 දක්වා ඈතට විහිද යන්නක් බවට සාධක හමුවේ.  ගිරිදා, නාගවල්ලි, ගැටතවාල, දලු‍ බුලත්, කොවුල් බුලත්, මල් බුලත් යනාදි වශයෙන් මෙරට සාම්ප්‍රදායික බුලත් වර්ග ගණනාවක් වෙයි. මානේරු, රට දලු‍ සහ ගල්දලු‍ ආදි ප්‍රභේද ගුණාත්මක බවින් ඉහළ අපනයනය සඳහා වගාකෙරන බුලත් ප්‍රභේද ලෙස සැලකේ. 

මෙරට බුලත් වගාව කුරුණෑගල, ගම්පහ, කෑගල්ල, කලු‍තර සහ කොළඹ වැනි දිස්ත්‍රික්ක කිහිපයක වැඩි බිම් වපසරියක සිදුවේ. අනුරාධපුරයේ මහවැලි කලාපයේ ද බුලත් හොඳින් පදම් කළ හැකි බව බුලත් ගොවීන්ගේ අදහස වී තිබේ.

තරුණ කලදීම බුලත් වගාවට නැඹුරුව ඇති තලාව ප්‍රදේශයේ තුෂිත කැලු‍ම් ප්‍රේමරත්න  මෙසේ කීය.

“මේක දෙවියන්, බුදුන් අදහලා වතාවත් රැකලා කරන ගොවිතැනක්. ආවට ගියාට කරන්න බෑ. හැබැයි කරන කැපකිරීමේ හැටියට හොඳ ආදායමක් ගන්න පුළුවන්. අනිත් එක මේක මත්තෙම ඉන්න වුවමනාවක් නෑ. අවශ්‍ය වතාවත් ටික නිසි වෙලාවට කෙරුව නම් මාස හතරක් විතර යනකොට ආදායම් ගන්න පුළුවන්. සතියකට සැරයක් වගේ තමයි බුලත් කඩන්නේ. බුලත් ගොවියන්ට දැන් තියෙන ලොකුම ගැටලු‍වක් තමයි ඉනි හොයාගන්න එක. දැන් ඉනි කපාගන්න කැළෑ නෑ. සාමාන්‍ය කොටුවකට ඉනිවලට විතරක් රුපියල් හැට හැත්තෑදාහක් යනවා.”

බුලත් කොටු සඳහා අවැසි ආධාරක ඉනි කපාගැනීම සාම්ප්‍රදායික ගොවියාට ගැටලු‍වක් නොවුයේ ඒ සඳහා අවැසි තරම් වන මූකලන් තිබු බැවිනි. අද වන විට එවැනි වනපෙත් බොහෝමයක් ජනාවාස වී ඇති බැවින් බුලත් ඉනි සපයා ගැනීමට ගොවීන්ට විශාල වියදමක් සහ වෙහෙසක් දැරීමට සිදුව ඇත. අතීතයේ බුලත් කොටු සඳහා භාවිත කළ කූරටියා, ගැටලා, අන්දර, කෝන්, කරපිංචා, සේරු වැනි ගහකොළ සපුරාම හිඟ වීමෙන් ගොවීන්ට විකල්ප සෙවීමට සිදුවී ඇත.

බුලත් කොළයෙහි දොකොනෙහි පාරිසරික සාධක සහ මිනිස් ක්‍රියාකාරම් හේතුවෙන් දුවිලි හා වෙනත් අපද්‍රව්‍ය රැඳී පවතී. දොකොන කඩාදැමීමෙන් එම තත්වය වළකා ගත හැකිය. දොව්ලොවට ගිය අර්ජුන නම් කුමරෙකු එහි වු බුලත් වැලකින් සොරාගත් රිකිල්ලක් මිනිස් ලොවට ගෙනවිත් රෝපණය කළ බව හින්දු ජනප්‍රවාදයේ කියැවෙයි. විජයාවගමනයට පෙර විසු නාග ගෝත්‍රකයන් ලංකාවේ තෙත් කලාපයේ බුලත් වගාකළ බව ඉතිහාස මුලාශ්‍ර මගින් පෙන්වා දෙයි. 

අසල්වැසි කාන්තාවන් කරා ගොස් ගොයම් නෙළන්නට පැමිණෙන ලෙස ආරාධනා කිරීමේ සිරිත් සම්ප්‍රදායක් එවක ගම්මැදිවල පැවැත තිබේ. විවාහ යෝජනාවක් රැගෙන හා පුරා කියා නිවසට පැමිණෙන මනමාලයට බුලත් හෙප්පුවක් පුදා ආචාර කොට පිළිගැන්මත් චිරාගත සම්ප්‍රදායකි. 

 තලාකොලවැව ගමේ එම්. ටී. පී. ජයසේකර මහතා මෑතකදී  බුලත් වගාවට අත තැබුවෙකි. ඔහු පැවසුවේ මෙවැනි කරුණුය.

“බුලත් ගොවිතැන අවදානමක් අරගෙන කරන්න ඕන ගොවිතැනක්. ලොකු වියදමක්, මහන්සියක් අරගෙන කරන ගොවිතැනට මොකක් හරි රෝගයක් ආවොත් දවසට හමාරට ඔක්කොම ඉවරයි. අනිත් පැත්තෙන් මේ වගේ පැතිවල බුලත් වගා කරන අයට කිසිම කෙනෙක්ගෙන් උදව්වක් නෑ. ඇත්තටම කෘෂිකර්ම නිලධාරි දන්නෙත් නෑ මේ පැතිවල මිනිස්සු බුලත් ගොවිතැන් කරනවද කියලා. ලාබයක් හරි පාඩුවක් හරි හැමදේම තනියම තමයි බුලත් ගොවියන්ට දරාගන්න වෙලා තියෙන්නේ. දාස් ගාණක් වියදම් කරලා මොකක් හරි අසානාසියක් වුණොත් ගොවියන්ට කිසිම රැකවරනයක් නෑ. මේව ගැන ටිකක් බලනවා නම් ගොවියට ඒක හයියක්.”

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සිට වියළි කලාපය දක්වා හොඳින් ජලය බැසයන සරු පසෙහි බුලත් සාර්ථකව වගා කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිගමනය වී ඇත. බුලත් හිරුඑළිය ප්‍රිය කරන වැලක් වුවද වියළි කලාපයට වඩා තෙත් හා අතරමැදි කලාපයේ හොඳ ගුණාත්මක නිෂ්පාදනයක් පෙන්වයි. අවශ්‍ය තරම් සෙවණ සහ ජල සම්පාදනය සාර්ථක වගාවක් සඳහා අත්‍යවශ්‍ය වන අතර උණුසුම් වියළි සුළඟ හිතකර නොවන අතර වර්ධනය බාල කරයි. 

ටී. බී. ජයසේන මහතා බුලත් වගාවේ ලාබ, අලාභ මෙසේ පැහැදුවේය.

“අපි රසායනික පොහොරයි, කාබනික පොහොරයි දෙවර්ගයම යොදනවා. එහෙන් අපේ මහන්සිය. මේ හැමදේම බලනකොට අවදානමක්, වියදමක්, මහන්සියක් බුලත් ගොවිතැනේ තියෙනවා. ඒකයි අපි ඉල්ලන්නේ මීට වැඩිය රැකවරණයක්, අවධානයක් බුලත් වගාවට දෙන්න කියලා. එළිය තියෙන ගෙවත්තක පොඩි ඉඩක වුණත් මේ වගාව කරන්න පුළුවන්. තද කොළ පාටට ලොකු කොළ තියෙන කලු‍ බුලත් තමයි අංක එකට වර්ග කරලා රට යවන්නේ. තේරිල ඉතිරිවෙන ඒවා මෙහේ කඩවල්වලට දානව. ආදායම කාලෙන් කාලෙට වෙනස් වෙනවා. හැම ගොවිතැනකටම පොහොර සහනාධාර එහෙම දෙන්න කතා කරන කාලෙක බුලත් ගොවියෝ ගැනත් බලන්න පුළුවන්නම් වටිනවා. ඇත්තටම මේ ගොවිතැනට අලු‍ත් පිරිසක් එකතු කරගන්න වැඩපිළිවෙළක් හදන්න පුළුවන් නම් ඒක තවත් වටිනවා.” 

මෙරට ජන ජිවිතය හා නන් අයුරින් තදින් බැඳී පවතින නැතිවම බැරි සමාජ වස්තුවක් ලෙස බුලත් සඳහා හිමිවෙන අද්විතීය ස්ථානය රැකීමට වෙහෙසෙන මේ මිනිසුන්ගේ හඩ වගකිවයුතු කවරෙකුට හෝ නොපමාව ඇසිය යුතුව ඇත. ඒ බුලත් හැපීමෙන් ඔබ්බට වටිනාකමක් දීම සඳහාය.