පසුගිය සති කිහිපයේ ලංකාවට පැමිණි සංචාරකයින්ගෙන් මිලියන 420 ක අදායමක්


 

(තිළිණි ද සිල්වා)

සංචාරකයින් ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය යටතේ යුක්රේන සංචාරකයින් 1500 ක් පසුගිය සති තුනක කාලය තුළ දිවයින පැමිණි  බවත්, ඉන් මෙරටට රුපියල් මිලියන 420 ක ආදායමක් ලැබුණු බවද සංචාරක අමත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (18) පැවසීය.
 
පසුගිය දෙසැම්බර් 26   වැනිදා  ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් අඩුපාඩු සහ ගැටලු නිවැරදි කර ගනිමින් අනිද්දා (21) සිට  සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන් දිවයිනට ගෙන්වීම සඳහා සියලු පියවර ගෙන ඇති බවද ඇමතිවරයා මෙහිදී කීවේය.
 
ඒ අනුව මෙරටට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් සැපයීම සඳහා හෝටල් 180ක් පමණ හඳුනාගෙන තිබෙන බවත් , මෙම හෝටල් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතිකලත් හෝටල් යැයිද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
 
සංචාරක අමාත්ය්වරයා මේ බව කියා සිටියේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදීඅද  (18) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකදීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගතහැකි ගතයුතු සියලු පියවර ගෙන ඇති බවය.
 
මෙරටට පැමිණෙන සංචාරකයින් සංචාරක බුබුලක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිත අතර පැමිණීමට පැය 72කට පෙර ඔවුන් පී.සී.ආර්. පරීක්ෂාවකට ලක්විය යුතු අතර, ඔවුන්ට මෙරටට පැමිණීමට ඉඩලැබෙන්නේ එම පරීක්ෂණයෙන් කොවිඩ්  ආසාධිත නොවන බවට තහවුරු වූ සංචාරකයින්ට පමණක් යැයිද සංචාරක අමාත්‍යවරයා කියා සිටියේය.
 
සංචාරකයන් පැමිණෙන හෝටල් වල කර්යමණ්ඩලවල ද මෙම සංචාරක බුබුලට අයත් වන බැවින් ඔවුන්ටද සාමාන්‍ය සමාජය සමග ගැවසීමට ඉඩක් නැතැයි ඇමතිවරයා කීය..
 
මෙහිදී අදහස් දැක්වූ ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ සංචාරක කර්මාන්තය බිද වැටීමෙන් විශාල පිරිසක් පිඩාවට පත් ව සිටින හෙයින්  ජාතික වගකීමක් ලෙස සලකා , සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට රජය ගෙන යන වැඩ පිලිවෙලට සහය වන්නැයි  ඉල්ලා සිටියේය.
 
මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් බී. විජේවීර, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ,

රජයේ ප්‍රවෘත්ති නාලක කළුවැව යන මහත් මහතමීන් සහ රජයේ පෞද්ගලික සියළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීහු එක්ව සිටියහ.