
- ලංකාවේ තවත් බොහෝ කර්මාන්ත සංචාරක කර්මාන්තයන් සමග බද්ධ කරගන්න පුළුවන්
- ව්යාපාරිකයකු නිර්මාණශීලී වෙන්න ඕන. මේක ව්යාපාරික ඥානයෙන් විතරක්ම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි
- තේ දල්ලෙන් සෝස් වර්ග, බිස්කට් වර්ග, මාස්මිලෝස් වැනි කෑම වර්ගද නිෂ්පාදනය කළ හැකියි
- අපේ සාර්ථකත්වය තමයි අපි කණ්ඩායමක් හැටියට වැඩ කිරීම
කරන්දෙණිය එම්. සුසිල් ප්රියන්ත සහ පිටිගල ඩි. ජේ. විජේසිංහ
|
අනුර අතුකෝරළ |
පාරම්පාරික ව්යාපාරවලට නවමු අංගයන් එක්කර අපේ රට දියුණු කිරීමට උර දී සිටින මෙරට ව්යාපාරිකයන් නැත්තේ ද නොවේ. ඔවුන් සිය කර්මාන්තවලින් අප රට බබළවන්නේ රටට ඩොලර් මලු රැගෙනවිත් දීය. එමෙන්ම රටේ රැකියා වියුක්තියට සාධාරණ විසඳුමක් ලබාදෙමිනි. කිසිදු බාධාවකින් නොසැලෙන ඔවුහු පාරම්පරික කර්මාන්තවලට නව අංගයක් එක් කර රටට ගමට වැඩදායී සේවයක් කරති. එවන් ව්යාපාරිකයන් වැඩි වැඩියෙන් බිහිවෙත්නම් රට ගොඩය. මේ එවන් ව්යාපාරික ඥානයක් ඇත්තෙකු ගැනය. නැතහොත් පාරම්පාරික කර්මාන්තයකට අලුත් අංග එක්කර රටට ඩොලර් මලු රැගෙන එන ව්යාපාරිකයකු පිළිබඳ කතාවකි.
ඔහු අන් නිසිවකු නොව පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලා සමූහයේ කළමනාකාර අධ්යක්ෂ සහ සභාපති අනුර අතුකෝරළ මහතාය.
අනුර අතුකෝරළ මහතා සිය ව්යාපාරික ක්ෂේත්රය දෙස බලනුයේ නැවුම් ආකාරයටය.ඒ නිසාමදෝ අනුර අතුකෝරළ නම කියූ සැණින් තේ කර්මාන්තයත් තේ කර්මාන්තය කියූ සැණින් අතුකෝරළ නාමයත් ලාංකිකයන්ට මතක්වනුයේ එහෙයිනි. සිලෝන් ටී නාමය දේශදේශාන්තරවල රැගෙන ගිය අතර අනුර අතුකෝරල මහතාට හිමි වන තැන ඉහළය.
තේ කර්මාන්තයත් සමග සංචාරක කර්මාන්තය බද්ධ කර ඒ තුළින්ද රටට ඩොලර් රැගෙන ආ මෙරට ව්යවසායකයන් අතර අනුර අතුකෝරළ මහතාට ලැබෙනුයේ ප්රමුඛ තැනකි. මේ රටේ තේ කර්මාන්තය සමග සංචාරක කර්මාන්තය පවත්වාගෙන ගිය මුල් පුරුකක් ලෙස අනුර අතුකෝරළ මහතා ජනතා සම්මානයට ද පාත්රවී ඇති ව්යවසායකයෙකි. ඔහුගේ මේ නවමු සංකල්පය නිසා ජාතික හා ජාත්යන්තර ඇගයීමට ලක්වූ අවස්ථා බොහෝමයකි.
අනුර අතුකෝරළ මහතාට පිය උරුමයෙන් ලැබෙන්නේ පාරම්පරිකව පවත්වාගෙන යන තේ කර්මාන්ත ශාලාවකි. මේ තේ කර්මාන්ත ශාලාවද ලංකාවේ අනෙක් තේ කර්මාන්ත ශාලා මෙන් මිලදී ගන්නා අමු තේ දලුවලින් තේ නිෂාපාදනය කර ගෙන ගියේය. පියාගෙන් ලැබුණු මේ කර්මාන්ත ශාලාවෙන් කළ හැකි රටට ගත හැකි ඉමහත් ප්රයෝජනය පිළිබඳව අනුර අතුකෝරළට හැඟෙන්නේ ඔහු අලුත් විදිහට සිතන පතන මිනිසෙකු නිසාය.


තමා පිටිගල අතුකෝරල තේ කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්යක්ෂ හා සභාපතීත්වයට පත්වී කෙටි කාලයක් තුළ සිය තේ කර්මාන්ත ශාලාවෙන් රටටම ගත හැකි ප්රයෝජනයන් ගැන කල්පනා කළේය.
සිය තේ කර්මාන්ත ශාලා පරිශ්රයේ දැකුම්කලු තේ වත්තක් නිර්මාණය කළේය. එමෙන්ම තේ කර්මාන්ත ශාලා පරිශ්රය ඕනෑම කෙනකුගේ නෙත්සිත් ඇඳ බැඳ ගන්නා ආකාරයට නිර්මාණය කළේය. මේ සියල්ලේම නිර්මාණ ශිල්පියා ඔහුවීමද විශේෂත්වයකි. එසේ නිර්මාණය කරන ලද සිය තේ කර්මාන්ත ශාලා පරිශ්රය හා ඒ අවට භූමිය ඔහු රට වටා සිටින සංචාරකයන් අද්දවා ගැනීමට කටයුතු කරන්නේ ඒ අනුවය.
මේ සමගම රස කර කර පානය කරන ලංකාවේ තේ නිෂ්පාදනය කරන තේ කර්මාන්ත ශාලාවක් නැරඹීමට ලෝකයේම රටවල් වලින් පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාවට වැල නොකැඩී එන්නේ ඒ අනුවය. එසේ එන හැම සංචාරකයකුම අනුර අතුකෝරළ ඉතාම උණුසුම් අයුරින් පිළිගැනීම නිසා පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාව ලෝකයේ හැම රටකම පාහේ ප්රසිද්ධවීමට හා ප්රචලිතවීමට ගියේ කෙටි කාලයකි. එසේ එන හැම සංචාරකයකුම සිය තේ වත්ත නැරඹීමට යනුයේ පරිසර හිතකාමී සූර්ය බලයෙන් දුවන රථවලින් හා අශ්ව කරත්තවලිනි. අතුකෝරළ තේ වත්ත නැරඹූ සංචාරකයන්ට තේ නෙළන්නට ඉඩහසර වෙන්කර දෙන්නේ සංචාරකයන්ට සිය දිවියේ නවමු අත්දැකීමක් ලෙසය.
ඉන් අනතුරුව මේ සංචාරකයන්ට තේ කර්මාන්ත ශාලා පරිශ්රයට ගොස් එය නැරඹීමට අවස්ථාව ලබාදෙයි. එහිදී තේ නිෂ්පාදනය කරන අයුරු සංචාරකයන්ට පෙන්වීමට කටයුතු කරන්නේ තේ කර්මාන්ත ශාලාවක් වුවද එය සංචාරක කර්මාන්තයට තෝතැන්නක් බව ලොවටම හඬ ගා කියමිනි.මේ වනවිට ලංකාවේ අනෙක් ඇතැම් තේ කර්මාන්ත ශාලාද සිය තේ කර්මාන්ත ශාලා සමග සංචාරක කර්මාන්තය බද්ධ කර ගනිමින් තිබේ. ඒ අනුර අතුකෝරළ මහතාගෙන් පසුවවීම විශේෂත්වයකි. මේ වැඩපිළිවෙළ හඳුන්වාදීමෙන් ද අනුර අතුකෝරළ මහතා මෙරට තේ සහ සංචාරක යන කර්මාන්තය දෙකටම කර ඇති සේවය සුළුපටු නොවේ. එම වැඩසටහනින් රටට එන ඩොලර් ද සුළු පටු නොවන බවද කිවයුතුමය.
මෙසේ සිය දෑතින්ම තේ නිෂ්පාදනය වන ආකාරය දුටු සංචාරකයන්ට පිටිගල තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කෙරෙන ඕනෑම තේ වර්ගයක් සිත් සේ රස විඳගැනීමට අවස්ථාව සලසා දීමට ද කටයුතු කරන්නේ රටට අද්දවා ගත හැකි ඩොලර් ගැන සිතා බලමිනි. ඒ සඳහා නිර්මාණය කර ඇති ශාලාවද සංචාරකයන්ගේ සිත් ඇද බැඳ ගන්නා ආකාරයට නිර්මාණය කර තිබීමද විශේෂත්වයකි.
මේ ආකාරයට පිටිගල අතුකෝරළ තේ කෝප්පයක රස බැලූ ලක්ෂ සංඛ්යාත විදෙස් සංචාරකයන් තේ මිලදී ගන්නේ ඩොලර් වලිනි. මේ වනවිට පිටිගල අතුකෝරළ තේ ඇමරිකාව, ජපානය, රුසියාව, එංගලන්තය ආදී රටවල් ඇතුළු අනෙක් රටවල් ද මිලදී ගනී.
සිය තේ කර්මාන්ත ශාලාව නැරඹීමට එන සංචාරකයන්ට නිදහසේ දවසක් දෙකක් හෝ ඊට වැඩි දවසක් ගත කිරීමට අනුට අතුකෝරළ සිය තේ කර්මාන්ත ශාලා පරිශ්රයේම සංචාරක නිවාඩු නිකේතනයක්ද ආරම්භ කර තිබේ. එය කුරුඳුවත්ත වලව්ව ලෙස නම් කර තිබේ. මේ සියල්ලේම සංකලනයෙන් අද පිටිගල තේ කර්මාන්ත ශාලාවේ සහ ඒ හා බැඳුණු අනෙක් අංශවල පිටිගල හා ඒ අවට සිය ගනණක් රැකියාවේ යෙදී සිටිති.
තේ දල්ලෙන් තේ නිෂ්පාදනය කිරීම හැරුණු විට ඒ මහතා තේ දල්ලෙන් තවත් දේ රටට කළ හැකි බව ඔප්පු කළේය. ඒ තේ දල්ල අනුසාරයෙන් සෝස් වර්ග නිෂ්පාදනය කළ හැකි බව අනුර මහතා රටටම පෙන්වා දුන්නේය. ඒ විතරක්ම නොව තේ දල්ලෙන් බිස්කට් වර්ග,මාස්මිලෝස් වැනි කෑම වර්ගද නිෂ්පාදනය කළ හැකි බවද පෙන්වා දුන්නේය. මේ වනවිට ඩොලර් ඉපැයිය හැකි තේ දල්ලෙන් කළ හැකි නිෂ්පාදන පිළිබඳව අනුර අතුකෝරළ මහතා පරීක්ෂණ පවත්වමින් සිටී.
මේ අනුව තේ ගසත් අනුර අතුකෝරළ මහතාත් අතර ඇත්තේ ලොකු සම්බන්ධතාවකි. තේ කර්මාන්ත ශාලාවක් පාදක කර ගනිමින් තවත් අනු කර්මාන්ත රැසක් බිහි කළ හැකි බව පෙන්වූ අනුර අතුකෝරළ මහතා අමුතු මිනිසෙක් වන්නේ එහෙයිනි.
තේ කර්මාන්තය සමග සංචාරක කර්මාන්තය බද්ධ කරගෙන රටටම ඩොලර් උපද්දවන ව්යවසායකයකුවී ඇති අනුර අතුකෝරළ මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ සිය අදහස් දැක්වීය.

තේ කර්මාන්තය විතරක් නෙමෙයි ලංකාවේ තවත් බොහෝ කර්මාන්ත තිබෙනවා සංචාරක කර්මාන්තයන් සමග බද්ධ කරගන්න පුළුවන්. උදාහරණයක් හැටියට අපේ ප්රදේශවල සුලබ කුරුඳු කර්මාන්තයත් ඒ සඳහා උපයෝගී කර ගන්න පුළුවන්. සිලෝන් ටී වගේම සිලෝන් සිනමන්වලටත් ලෝකයේ තියෙන තැන ඉහළයි. ඒ නිසා තමන් පරිභෝජනය කරන ලංකාවේ තේ වගේම ලංකාවේ කුරුඳු පිළිබඳවත් විදෙස් සංචාරකයන් උනන්දුයි. ඒ උනන්දුවෙන් අපිට ඩොලර් මවන්න පුළුවන්.
මම මේ පිළිබඳව කලියෙන්ම දැක්කා. ඒ නිසාම මගේ තේ කර්මාන්ත ශාලාව සංචාරක ව්යාපාරය සමග බද්ධ කර ගන්න උනන්දු වුණා. මුලදී මුලදී මෙයට අනුගතවීමට විශාල මහන්සියක් ගන්න සිද්ධ වුණා. ඒත් උත්සාහය අතහැරියේ නැහැ. එය සාර්ථක වෙනකම්ම කටයුතු කළා. එහි ප්රතිඵල අද අපි භුක්ති විඳිමින් සිටිනවා. ව්යාපාරිකයකු නිර්මාණශීලී වෙන්න ඕන. එසේ වූ තරමටම තමයි සිය ව්යාපාරවලින් ව්යවසායකයෙක් වෙන්න පුළුවන්. මේක ව්යාපාරික ඥානයෙන් විතරක්ම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.ඊට නිර්මාණශීලීත්වයත් එකතුවුණොත් පෞද්ගලිකවම අපිට වගේම අපේ රටටත් ලොකු සේවයක් කරන්න පුළුවන්. මම හැමතිස්සේම කල්පනා කරන්නේ මගේ ව්යාපාර ජාත්යන්තරයට ගෙන යන වැඩපිළිවෙළ ගැනයි. එමගින් පොදුවේ මටත් අපේ රටටත් විශාල සේවයක් කිරීමයි අරමුණයි. පහු ගිය කාලයේ අපේ රටේ පැවති ඩොලර් හිඟය නැති කරන්න අපේ ව්යාපාරද දායක වුණා. ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. මට ලැබෙන ලාබය මම විතරක් තනියෙන් භුක්ති විඳින්නේ නැහැ. එයින් පොදු යහපත සඳහා කොටසක් යොදවනවා. පාසල්, පන්සල්වල සංවර්ධන කටයුතු වෙනුවෙන් මට කළ හැකිදේ කරනවා. අපේ සාර්ථකත්වය තමයි අපි කණ්ඩායමක් හැටියට වැඩ කිරීම.



