වර්ජන කලබගෑනිය යළිත් රට පුරා තැනින් තැන කරළියට පැමිණ ඇත. යහපත් රාජ්‍ය සේවයක් ජනතාවට ලබාදීම සඳහා දැනට දශක ගණනාවක සිටම සෑම රජයක්ම උත්සාහ කරන නමුත් රාජ්‍ය සේවයේ පවතින දහසකුත් එකක් ව්‍යාධිවලට අමතරව වර්ජන ව්‍යාධිය දැන හෝ නොදැන රටට කර ඇති හානිය ගණන් බැලිය නොහැකි තරම්ය.
ආර්ථික වශයෙන් පමණක් බැලුවොත් මේ තත්වය හොඳින් තේරුම් ගත හැකිය. ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවූයේ ඉන්දියාව, වියට්නාමය, තායිලන්තය වැනි රටවල් එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට බොහෝ කලකටත් පෙරය. එහෙත් ශ්‍රී ලංකාව අබිබවා යමින් එම රටවල් විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන ඇත. ඉන්දියාව 2024 ඩොලර් බිලියන 776.68 ක්, වියට්නාමය ඩොලර් බිලියන 405.53 ක්, සිංගප්පූරුව ඩොලර් බිලියන 873.99 ක්, චීනය ඩොලර් ට්‍රිලියන 3.577 ක්, ජපානය ඩොලර් බිලියන 691 ක්, තායිලන්තය ඩොලර් බිලියන 300.52 ක් වන විට ශ්‍රී ලංකාව අඩුම තරමින් ඩොලර් බිලියන 200 ක් වත් උපයාගත යුතුව තිබිණි.
එහෙත් ශ්‍රී ලංකාව තවමත් උපයන්නේ ඩොලර් බිලියන 16.172 ක සංඛ්‍යාවකි. මේ නිසා සිදුවන්නේ ණය ගැනීමය. මේ වන විට මෙම ණය ද ගෙවා ගැනීමට නොහැකිව ජාත්‍යන්තර යාචකයකුගේ තත්වයට පත් වී ඇත. මීට ප්‍රධාන හේතුව රට ඉදිරියට නොයෑමය. එනම් ආර්ථිකය සංවර්ධනය නොවීමය. කුමන ආර්ථික ප්‍රතිසංස්කරණ කළත් එය ක්‍රියාවට නැංවිය යුත්තේ රාජ්‍ය යාන්ත්‍රණය හරහාය. එය අක්‍රිය වුවහොත් සමස්තයම අඩපණ වීම නොවැළැක්විය හැකිය. මේ වන විට උදාවී ඇත්තේ එවැනි වටපිටාවකි. වර්ජනවලට සාධනීය හේතුද තිබිය හැකිය. ඒවාට විසඳුම් දීමද රජයේ වගකීමක් වන අතර වර්ජනයේ සත්‍ය අසත්‍යතාව තේරුම් ගැනීමටද ඕනෑම රජයකට හැකි විය යුතුය.
රාජ්‍ය සේවයේ ප්‍රකාශිත අකාර්යක්‍ෂමතාව පිළිබඳ සලකා බැලීමේදී විවිධ පර්යාය ඔස්සේ විග්‍රහ කළ හැකිය. සේවා ලාභියාට කාර්යක්‍ෂම සාධාරණ සේවයක් නොලැබීම, වංචා, දූෂණ, අල්ලස්, වරප්‍රසාද, ඥාති සංග්‍රහ, දේපල අවභාවිතය, යනාදී දහසකුත් එකක් රෝගවලින් සමස්ත රාජ්‍ය සේවයම බරපතළ ලෙස රෝගාතුරවීම දැකිය හැකිය. එහෙත් දිනෙන් දින උග්‍රවන වැඩ වර්ජන මෙම සියල්ලටම වඩා ප්‍රධාන තැනක් ගනී. සාමාන්‍ය ජනතාව පමණක් නොව රජයේම සේවකයන්ද වෙනත් රාජ්‍ය ආයතනයකින් සේවයක් ලබා ගැනීමේදී දන්නා හඳුනන අයකු නොමැතිව කිසිවක් කරගත නොහැකි බව දනිති. උපතකදී රෝගාබාධයකදී පමණක් නොව මරණයකදී පවා අතයට ගනුදෙනුවක් නොමැතිව කිසිවක් ඉටු කරගත නොහැකි තත්වයකි උදාවී තිබෙන්නේ. මේ තත්වය තුළ ආයතනවලට ඵලදායිතා සම්මාන ලබා දීමද විසුළු සහගතය. අඩුම තරමින් සම්මාන ලබා දිය යුත්තේ අල්ලස්, දූෂණ, වර්ජන නැති සේවකයන් ඇති ආයතනවලටය.
හැටේ දශකයේදී පමණ අප කුඩා සන්ධියේ නිතරම ඇසුණ වචනයක් වූයේ නිලධාරීවාදයයි. එනම් එදා රාජ්‍ය සේවය තනිකරම පැවතියේ නිලධාරීන්ගේ අණසක යටතේය. එහිදීද සිදුවූයේ ඔවුන්ට අවශ්‍ය දේ පමණි. ඒවා ජනතාවට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් බාර ගැනීමට සිදුවිය. මේ තත්වයෙන් දිගින් දිගටම ජනතාව අසරණ වීම නිසා ජනතාව නිලධාරීන්ගෙන් බේරා ගැනීමට පසුව දේශපාලනඥයන්ගේ සරණ පැතීමට සිදුවිය. ඉන් පසුව මේ දේශපාලනඥයන්ගේ මැදිහත්වීම කොතරම්ද යත් ජනතාවට පසු කාලයේදී වැටහී ගියේ එය ඉඟුරු දී මිරිස් ගැනීමකට සමාන බවය. මේ වන විට මෙහි භයානකම නව හයිබිඩ් උප ප්‍රභේදය වී ඇත්තේ දේශපාලකයා හා නිලධාරියා එකතු වී ජනතාව පීඩාවට පත් කිරීමය. දශක හත හමාරකට පසුව අද ජනතාව බලවත් ලෙස ආර්ථික වශයෙන් රෝගාතුර වී ඇත්තේ එම හයිබිඩ් උප ප්‍රභේදයේ ආනිසංසය පල දීම නිසාය. මෙම ප්‍රභේදයේ ආර්ථික රෝගවලට ප්‍රතිකාර තිබුණද සුදුසු වෛද්‍යවරුන් පෙනෙන තෙක් මානයකවත් නොමැත.
යහපත් රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාම සඳහා දැනට දශක දෙක තුනකට පෙර හඳුන්වා දී ඇති සංයුක්ත සැලැස්ම (Corparate Plan) ඉතාම හොඳ ක්‍රමවේදයකි. සේවා ලාභියාට ප්‍රශස්ත සේවාවක් ලබා දීම සඳහා ආයතනයක් තුළ කටයුතු කළ යුතු ආකාරය එහි දැක්වෙයි. එය මූලික වශයෙන් දැක්ම (Vision) මෙහෙවර (Mission) යනුවෙන් ආරම්භ වී අරමුණු (Objectives) ඒ අරමුණු වලට ගමන් කරන ක්‍රියාකාරී සැලැස්ම ඒ ඒ කාලවලදී සපුරා ගත යුතු ඉලක්ක ඒ සඳහා අධීක්ෂණය කරන නිලධාරීන්, වගකිව යුත්තන්, පසු විපරම් යනාදිය අඩංගු වූ වැඩපිළිවෙළකි. මෙම සැලැස්ම නිසි පරිදි ආයතනයක ක්‍රියාත්මක වේ නම් ආයතනයේ සේවාව උපරිම මට්ටමට ඉබේම පැමිණෙන අතර සේවා ලාභියාට උපරිම සේවයක් ලැබෙනු නොඅනුමානය. අද වන විට මෙම සැලසුම් නැති කාර්යාලයක්, අමාත්‍යාංශයක්, දෙපාර්තමේන්තුවක්, ශාඛාවක් සොයා ගැනීම නොමළ ගෙයකින් අබ මිටක් සෙවීම තරම් අසීරු කරුණකි. ඇතැම් විට ප්‍රධාන පාරටම පෙනෙන සේ එසේත් නැතිනම් සේවා ලාභියාට පමණක් පෙනෙන සේ පොල්ගෙඩි අකුරින් මෙම විෂන් මිෂන් ,විශාල වියදමක් දරා ප්‍රදර්ශනය කර ඇති බව පෙනේ. ආයතනවල කාර්යක්ෂමතාව දෙස බැලූවිට ජනතාවට නම් හැඟී යන්නේ එම සංයුක්ත සැලැස්මද ජනතාවටම ක්‍රියාත්මක කිරීමට භාරදී ඇති බවය. හේතුව කාර්යක්ෂමතාව කෙසේ වෙතත් අඩුම තරමින් ආයතනවල ඉහළ සිට පහළට සැලැස්ම පිළිබඳව කිසිවෙක් දන්නා බවක් නම් ජනතාවට පෙනී නොයන හෙයිනි.
මෙම සැලසුම් එක්කෝ විශාල වියදමක් දරා ඒ පිළිබඳ ප්‍රගුණ කළ අය මගින් සකස් කර ගනිති. එවිට වියදම මිලියන ගණන් වලිනි. එසේත් නැතිනම් තම ආයතනවලම මාස ගණනක් තිස්සේ විශේෂ සැසිවාර සාකච්ඡා රැස්වීම් මගින් ද සකස් කර ගනිති. ඒ සඳහා ද විශාල වියදමක් දරති. හේතුව එම රැස්වීම් පවත්වනු ලබන්නේ ධර්ම ශාලාවල, බණ මඩුවල නොව තරු පන්තියේ හෝටල්වල බැවිනි. එය ඉතා අසීරු කරුණක් බැවින් එම වියදම් පිළිබඳ ගැටලුවක් ද නොමැත. ගැටලුව ඇත්තේ එම සැලසුම් කීයෙන් කී දෙනෙක් අඩුම තරමින් අත්හදා බලාවත් ඇද්ද යන්නය. එක්තරා මට්ටමකින් හෝ ක්‍රියාත්මක වූවානම් රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව පිළිබඳ මෙතරම් මතයක් ඇතිවීමට කිසිදු ඉඩක් තිබිය නොහැකිය. නිවැරදි ක්‍රමය නම් සැලසුම ආයතනවල ඉහළ සිට පහළ දක්වා දැනුවත් කර එකිනෙකාගේ කාර්ය භාරය බෙදා වෙන් කොට පවරා කලින් කල ප්‍රගතිය අධීක්‍ෂණය කොට සැලසුම් නිශ්චිත කාල සීමාව තුළ අරමුණු ඉටුවී සේවා ලාභියාට උපරිමය ඉටු වී ඇත්දැයි සොයා බැලීමය. මේ නිසා ආයතනයේ අරමුණු ක්‍රියාකාරී සැලසුම් දැක්ම මෙහෙවර ගැන ඉතා හොඳ වැටහීමක් සියලුම සේවකයන්ට තිබිය යුතුය. අවාසනාව නම් ලිපිගොනුව නොබලා මතකයෙන් තම ආයතනයේ සංයුක්ත සැලැස්ම ගැන කීමට රාජ්‍ය සේවයේ ආයතන ප්‍රධානීන් කීයෙන් කී දෙනකුට හැකිවේද යන්නය. ඒ තරමට සංයුක්ත සැලැස්ම හමස් පෙට්ටියට දමා හමාරය.
එය අළු ගසා දමා එළියට ගනු ලබන්නේ වාර්ෂික විගණන පරික්ෂාවේ දී පමණි. හේතුව විගණනයේදී මෙම සැලසුම තිබේද යන්න විපරම් කරන බැවිනි. විගණනයේදී බොහෝ විට පරික්ෂා කරනු ලබන්නේ සැලසුම තිබේද නැද්ද යන්න පමණි. සැලැස්ම අනුව ආයතනයේ ප්‍රගතිය සොයා බැලීමක් අසීරු වන්නේ ඇතැම් ක්‍ෂේත්‍ර පිළිබඳව විශේෂඥතාවක් අවශ්‍ය බැවින්ය. උදාහරණ වශයෙන් අධ්‍යාපන, පර්‌යේෂණ, සේවා යන ක්‍ෂේත්‍ර දැක්විය හැකිය. සංගීතය පිළිබඳ විගණනයේදී බාල සංගීත භාණ්ඩවලට කීප ගුණයකින් මිල වැඩි භාණ්ඩයක් මිලදී ගෙන තිබුණද භාණ්ඩයේ නික්මෙන නාදය ස්වරය පිළිබඳව ප්‍රශ්න කිරීමට ඒ පිළිබඳ විශාරද මට්ටමේ විගණනවරුන් සිටිය යුතුව ඇත. අනෙකුත් පර්‌යේෂණ, සේවා අධ්‍යාපන පිළිබඳ තත්වයද එසේමය. එබැවින් හුදෙක් වෙනත් සරල කාරණාවලට ඔවුන්ටද ලඝු වීමට සිදුව ඇත. ඒ අනුව සංයුක්ත සැලැස්ම හුදු ලියවිල්ලකට පමණක් සීමා වී ඇති බවක් පෙනේ. අනෙක් කරුණ එකී ආයතනවල සැලසුම් රටේ මූලික තත්වය හා සමපාත නොවීමේ ගැටලුවමය. එවිට එක් ආයතනයක් සාර්ථක වුවද එය සමස්තයට සමපාත නොවේ. අනික් අතට වර්ජන පවතින තාක් මෙවැනි සැලසුම් ක්‍රියාත්මක කළ නොහැකිය.
මේ සඳහා කළ යුතුව ඇත්තේ සමස්ත රටේම සංවර්ධනයේ උපරිමයට යා හැකි මූලික සංයුක්ත සැලැස්මක් සකස් කිරීමය. තෝරාගත් කාලසීමාවක් සඳහා රට සංවර්ධනය කළ යුත්තේ කෘෂිකාර්මිකවද කාර්මිකවද, තාක්ෂණිකවද, සේවාද එසේ නැත්නම් මේවායේ සම්මිශ්‍රණයෙන්ද කවර ප්‍රමාණවල සම්මිශ්‍රණයක්ද යන්න බරපතළ සාකච්ඡාවක් අවශ්‍ය වේ. ඒ සඳහා විශේෂඥ මට්ටමේ සහය අවශ්‍යය. ඉන්පසු එම අරමුණු ඉටුකර ගැනීමටම පමණක් එල්ල කරන ලද අත්‍යාවශ්‍ය අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ආයතන ව්‍යුහයක් ස්ථාපිත කළ යුතුව ඇත. පසුව ඒ ඒ අමාත්‍යංශ වල අරමුණුවලට එල්ල කරන ලද සංයුක්ත සැලසුම් අනෙකුත් ආයතනවලට ලබාදිය යුතුය. එවිට ගම් මට්ටමේ ආයතනයේල ශාඛාවේ, සැලසුම් සාර්ථක වන විට එය දෙපාර්තමේන්තුව හරහා අමාත්‍යාංශයේ අරමුණු ඉටුවේ. අමාත්‍යාංශයේ අරමුණු ඉටුවීම යනු රජයේ අපේක්‍ෂිත අරමුණු ඉටුවීමකි. එනම් රටේ සංවර්ධනය හා ජනතා සේවය උපරිම කරගත හැකිවේ.
ප්‍රස්තුත කාරණයට පැමිණියහොත් වර්ජන කලබගෑනිය උත්කර්ෂයට පත්කර ඇත්තේ මෙවැනි නිලධාරීන් නොමැති වුවහොත් හෙට දින රටම කඩා වැටෙන බවක් පෙන්වමිනි. එමෙන්ම රාජ්‍ය සේවය අකාර්යක්ෂම බවට ජනතා මතයක් නිර්මාණය වී ඇත්තේද මේ නිලධාරීන් සිටිද්දීමය. එම නිසා අමුතුවෙන් කඩා වැටීමට තරම් රාජ්‍ය සේවයක් තවත් ඉතිරි වී නොමැත. අනෙක් අතට විශ්‍රාම යාම් පුරප්පාඩු ඇත්නම් ඒවාට කලට වේලාවට බඳවා ගෙන නැත්නම් එය ද නිලධාරීන්ගේ අඩුපාඩුවකි. එම නිලධාරීන් ඒ සඳහා වගකිව යුතුය.
එහෙත් ලෝකයේම වගවීමක් නැති රාජ්‍ය සේවාවක් ඇත්තේ අපේ රටේ පමණකි. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් නම් එදා මෙදා තෙක් තම ජීවිතය දෙවනුවට තබා සේවා රාජ්‍ය සේවය, සේවා ලාභියා, ආයතනය, වෙනුවෙන් ඇපකැප කළ නිලධාරීන්ද නැතුවාම නොවේ. ඔවුන් වරප්‍රසාද සමාජ තත්වයට යට නොවුණ අතර සේවා ලාභියා සහ ආයතනයේ ප්‍රගතියට කාලය ශ්‍රමය කැප කළ අය වෙති. මේ අය බොහෝ විට භෞතිකව දුප්පතුන් වුවත් මානසිකව පොහාසතුන් වෙති. මෙපමණකින් හෝ රාජ්‍ය සේවය එල්ලී ඇත්තේ ඔවුනට පින්සිදු වන්නයට.
එබැවින් ඔවුනට ජාතියේම ගෞරවය හිමිවිය යුතුව ඇත. ඔවුන් තවත් කල්පයක් හෝ රාජ්‍ය සේවයේ තබාගත්තද එහි කිසිදු ගැටලුවක් නොමැත. අවාසනාවකට මෙවැනි රාජ්‍ය සේවකයන් හඳුනාගැනීමට තරම් ප්‍රධානීන්ද නොමැත. හේතුව ඔවුන් බහුතරයකට ද කොහෙත්ම විෂන් මිෂන් නැත. සෑම දේශපාලන පක්ෂයක්ම මේ වර්ජකයන් හරහා බලයට පැමිණීමට අපේක්ෂා කරති. රජයක් ඉදිරිපත් කරන සෑම යෝජනාවකටම විරුද්ධව වැඩ වර්ජන කරන මොවුන් තමන් බලයට පත්වූ විට කළ යුත්තේ තම විරෝධතාව නොතකා කරන ලද එම ව්‍යාපෘති නතර කිරීමය. එහෙත් සිදුවන්නේ තමුන්ද ඒ යෝජනා අපූරුවට ක්‍රියාත්මක කිරීමය. එබැවින් මේ වර්ජන ව්‍යාජය ජනතාව තේරුම්ගත යුතුව ඇත. වර්ජකයන්ගේ අභිප්‍රාය එක්කෝ තම ගොඩ වැඩිකර ගැනීමය. නැතිනම් තමන්ට ස්ථානයක් සොයා ගැනීමටය. එසේ නැතහොත් තමුන්ගේ පක්ෂයේ බලයට ගෙන ඒමය. ජනතාවගේ සුව පහසුව යහපත සඳහා වර්ජකයන් කිසිදා ඉදිරිපත් වී නැත. මේ නිසා සියලුම පක්ෂ විපක්ෂ සංවර්ධන කටයුතු සඳහා එකම වේදිකාවකට පැමිණිය යුතු අතර වර්ජකයන් ඉදිරියට දමා තම අපේක්ෂා ඉටු කිරීම දැන්වත් නතර කළ යුතුය.
වර්ජකයන්ගේ ඉල්ලීම් තැනින් තැනින් පැච් දමා සුවකළ නොහැකි අතර කළ යුත්තේ සමස්ත රාජ්‍ය සේවයම සියලුම තනතුරු සමාලෝචනය කර දීමනා වරප්‍රසාද, වැටුප්වල ඇති අසමානතා ඉවත් කර සියලුම රජයේ සේවකයන්ට පොදුවේ පිළිගත හැකි වැටුප් ව්‍යුහයක් නිර්මාණය කිරීමය. ඒ සඳහා පක්ෂ විපක්ෂ ඇතුළත් කමිටුවක් මගින් කළ යුතුව ඇත. විෂන් මිෂන් ක්‍රියාත්මක කළ හැක්කේ එවැනි රජයේ සේවකයන්ටය. එසේ නොමැතිව ලෝකයේ වැඩිම රජයේ නිවාඩුත් රිසිසේ බුක්ති විඳිමින් වර්ජනයද කෝකටත් තෛලයක් ලෙස ගන්නා රාජ්‍ය සේවකයන්ට විෂන් මිෂන් බැරිනම් පෙන්ෂන් හැර වෙනත් විකල්පයක් නම් නැත.