
සාරා කන්දෙගොඩ
සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන් ආණ්ඩු සැලකිය යුතු අවධානයක් යොමු කරති. ශ්‍රී ලංකාවේ මෑත කාලය තුළ පැවැති ආණ්ඩු රට ඉදිරියට ගෙන යන අතර ජනතාවගේ ජීවන මට්ටම ඉහළින් තැබීම කෙරෙහි මනා අවධානයක් දැක්වීය. එහි දී යම් අවස්ථාවක හොඳ අවකාශයක් පමණක් නොව ඇතැම් අවස්ථාවක බරපතළ ප්‍රශ්න පැන නැගුණ බව සඳහන් කළ හැකිය. සංවර්ධන වේගය අඩාළ වී දළ දේශීය නිෂ්පාදිතය පහත වැටෙන අතරවාරයේ ගැටලු ඇති කෙරේ. මූලික අවශ්‍යතා සාක්ෂාත් කරගත නොහැකි වේ. සංවර්ධනය අතර තුර ආහාර සුරක්ෂිතතාව ද වැදගත් සාධකයක් සේ සැලකීම වටී.
ගල්ඔය සංවර්ධනය, මහවැලි ව්‍යාපාරය, වලව සංවර්ධනය හෝ තවත් අවස්ථා ගණනාවක දී සංවර්ධනය පමණක් නොව විශේෂයෙන් ආහාර නිෂ්පාදන වැඩ පිළිවෙළ ගැන අවධානය යොමු කර තිබුණි. මෑත භාගය තුළ ආදායම තරකරගැනීම, විනිමය උත්පාදනය වැනි අංශ කෙරෙහි නැඹුරුවන අතර, ආහාර නිෂ්පාදනය ප්‍රධාන කාරණයක් සේ සලකා බලා නැත. කෘෂිකාර්මික කටයුතුවල දී ආණ්ඩු විසින් සැලකිය යුතු සහන සම්පාදනය කර තිබේ. පොහොර සපයන අතර වාරි ජල සම්පාදනය, උපදේශන සේවා ද සැපයේ. කෙසේ නමුත් ජනගහනය සහ වෙළෙඳපොළ තත්ව නිරීක්ෂණය කරන පසු ආහාර නිෂ්පාදනය, ආහාර සුරක්ෂිතතාව සහ ජනතාවට මිල දී ගත හැකි ආකාරය ගැන තව දුරටත් ප්‍රවේශයක් අවශ්‍යය.
ආහාර සුරක්ෂිතතාව සහ වෙළෙඳපොළ විකෘතිය
ප්‍රමාණවත්ව ආහාර සපයා ගැනීමේ පහසුව ලෝකයේ අවධානයට පත්ව ඇත. ආහාර සුරක්ෂිතතාව වශයෙන් එය ඉදිරියට පැමිණ ඇත. ජනගහනයට අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය මුලික අවශ්‍යතාවක් සේ සැලකේ. ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රතිපත්ති සලකා බලන පසු සෑම පුද්ගලයකුටම ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර සැපයීම වැදගත් කරුණකි.
කොවිඩ් වසංගතය, එයට සමාන්තරව නැගී ඇවිලුණ ආර්ථික ප්‍රශ්න ආහාර නිෂ්පාදනය හා වෙළෙඳපොළ හැසිරවීම අසීරු තැනකට කැඳවීය. පසුව රුසියාව සහ යුක්රේනය අතර හටගත් යුද්ධය එය තවත් පැත්තකට හැරවීය. යුක්රේනය ආහාර නිෂ්පාදනය අතින් ඉහළ ස්ථානයක පසුවේ. තිරිඟු, බඩ ඉරිගු, සත්ව නිෂ්පාදන හා ආහාරයට ගන්නා තෙල් අපනයනය එරට ආර්ථිකයෙන් සියයට හැටක් පමණ වේ. රුසියාව ද ආහාර හා ඛනිජ තෙල් අපනයනය කරන රටකි. ලෝක පොහොර සැපයුමෙන් සියයට දහයකට පමණ දායක වේ.
මෑත කාලය තුළ ඇමරිකානු මෙහෙයැවීම මත ඊශ්‍රායලය හා ඉරාන ගැටුමක් හටගත් අතර, එය මැද පෙරදිග කලාපය අවුල් සහගත කර තිබේ. විශේෂයෙන් ඛනිජ තෙල් නිෂ්පාදන සම්බන්ධයෙන් අර්බුද මතු කර ඇත. අනෙක් අතට නාවික ගමනාගමනය හා ඒවායේ රක්ෂණ අධිභාර යනාදිය වෙළෙඳපොළ තත්ව සලකන පසු තවත් සංකීර්ණය. අවසානයේ දී ආහාර නිෂ්පාදනය, බෙදාහැරීම හා වෙළෙඳපොළ ප්‍රවේශය අතර බාධක ගණනාවක් පැන නැගී තිබේ. අවසානයේ දී ආහාර සුරක්ෂිතතාව ගැන නොයෙක් අර්ථකතන පැන නැගෙමින් තිබේ.
අලුතින් පැන නැගෙන බදු රටවල් අතර වෙළෙඳාම වියදම් සහගත කර ඇත. විනිමය සම්බන්ධ රෙගුලාසි අවසානයේ දී ජනතාවට ගෙවන්නට සිදුවේ. අඩු මිලට නිෂ්පාදනය වන නමුත් වෙළෙඳ පොළට ලැබුණ පසු මිල දී ගැනීමේ හැකියාව අඩුවේ. මේවා වෙළෙඳපොළ විකෘතියකට හේතු වී ඇති බව පෙනේ. අවසානයේ දී අලුත් පැතිකඩවලින් ආහාර සුරක්ෂිතතාව ගැන සිතන්නට සිදුවේ.
ආර්ථික අර්බුදය සහ දිට්වා බලපෑම ඉදිරියේ
ජාත්‍යන්තරයේ පවතින මූලික රාමුව එසේ තිබිය දී ශ්‍රී ලංකාව ද සැලකිය යුතු ප්‍රශ්න ගණනාවකය. ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල ඉහිලිය නොහැකි පරිදි වැඩිවෙමින් තිබේ. මෙරට නිෂ්පාදනවලට ද ජාත්‍යන්තරයෙන් එන බලපෑම්වලට ලක්වීමට සිදු වී ඇත. ප්‍රවාහන පිරිවැය, විදුලිය ගාස්තු යනාදිය එකතුවන පසු මිල ඉහළයෑම වැළැක්විය නොහැක.
පසුගිය වසර දෙක තුන තුළ සහල් වෙළෙඳපොළ පත්ව ඇති ස්වභාවය එයට කදිම සාක්ෂියකි. ගොවියාට ලැබෙන මිල හා සහල් මිල දී ගැනීමට පාරිභෝගිකයා ගෙවන මුදල අතර සැලකිය යුතු පරතරයක් තිබේ. අර්තාපල්, ලොකු ලූනු, එළවළු, පලතුරු සහ වෙනත් පාරිභෝගික ද්‍රව්‍යවලට මෙම ඉරණම තදින් බලපා ඇත. ඇතැම් ආහාර වර්ග සඳහා ආනයනයේ දී ඉහළ බදු අනුපාත අය කරේ. දේශීය ගොවීන් ආරක්ෂා කරගැනීම බව හුවා දක්වන නමුත් අවසානයේ දී පාරිභෝගිකයන් බොහෝ ප්‍රමාණයක් අපහසුතාවට පත්වේ.
ආර්ථික අර්බුදය හේතු කරගෙන ඇති වූ ගැටලු පහ අනතුරුව රට පුරා මහත් විනාශයක් කරන ලද දිට්වා සුළි කුණාටුව කෘෂි නිෂ්පාදන අංශයට පීඩා අත් කර දී ඇත. ගොවීන් ගේ වගාබිම් විනාශ වූ අතර තවමත් තක්සේරු කරමින් සිටී. දෙවැනි වතාවට කරන ලද වගාව වෙළෙඳ පොළට එවන අතරවාරයේ ප්‍රවාහන පිරිවැය බාධකයක් වී ඇත. අනෙක් අතට දැනට බලපවත්වන නියඟය ද සැලකිය යුතු ප්‍රශ්නයකි. ඇතැම් ප්‍රදේශවලට වරින්වර වැසි ලැබෙන නමුත් මෙරට ආර්ථික විශේෂඥයන් දක්වන කරුණු අනුව වැසි හෝ නියඟය මෙරට ආර්ථික වර්ධනයෙන් සියයට දෙකක පමණ ප්‍රතිශතයක් කපා හරින්නට තරම් බලවත්ය. කෘෂිකර්මයට සිදුවන හානියක තරම එයින් තක්සේරු කළ හැකිය.
ආහාර මිල දී ගත හැකි තරමට වත්කමක්
පසුගිය අලුත් අවුරුදු කාලසීමාව නිමිත්තෙන් අප්‍රියෙල් මාසයේ දී අස්වැසුම ආධාර තවත් වැඩිකර නිකුත් කරන්නට රජය තීරණය කළේය. ජනතාව පෙළන ජීවන වියදම ගැන තක්සේරුවක් ආණ්ඩුවට තිබුණි. මෙරට ජනගහනයෙන් සියයට විසි පහක පමණ ප්‍රතිශතයක් අස්වැසුම ආධාර ගන්නා බව දැක්වේ. තවත් මාස කිහිපයකින් අස්වැසුම පළමුවටය ලබාගත් පිරිස අවුරුදු තුනක කාලසීමාව සම්පූර්ණ කරනු ඇත. මෙම මාස තිස් හය තුළ දුප්පත් පවුල්වල ආදායම් මටට්ම ඉහළ ගොස් අස්වැසුමට හිමිකම් නොලබන පරිසරයක් නිර්මාණය වනු ඇති බව මුලින් තක්සේරු කර තිබුණි. එහෙත් මෙම මොහොතේ දී අස්වැසුම ආධාර අත්හිටුවීමට තීරණය කළ හොත් සැලකිය යුතු ජන කොටසක් දුෂ්කරතාවකට පත්වනු ඇත.
ජනතාවගේ ආදායම ඉහළ ගොස් නැත. ක්‍රමයෙන් උද්ධමනය වැඩිවන බව පෙනේ. ආහාර තිබෙන නමුත් මිල දී ගැනීම පහසු නැත. පසුගිය උත්සව වකවානුවේ වෙළෙඳපොළ හැසිරීම එයට සාක්ෂියකි.
අනෙක් අතට ජනතාවගේ දුප්පත්භාවය වැඩිවී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත් වාර්තා අනුව ජනගහනයෙන් සියයට 25-26 අතර පිරිසක් දුප්පත්ය. එව පසුගිය අර්බුදකාරී කාලවකවානුවට වඩා ඉහළ අගයක් බව සහතික කර තිබේ. මෙය මෙරට පමණක් දැකිය හැකි තත්වයක් නොවේ. 2022 වසර අවසන් වන විට දකුණු ආසියාවේ දුප්පත් ජනගහනය කලින් පැවැති අගයට වඩා දෙගුණයකට පත්ව සිටී. මිලියන 25.6 ක් දුප්පත් වී ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තා සඳහන් කරයි. මෙම ඉලක්කම්වලට ශ්‍රී ලංකාව ද ඇතුළත්ය. 2024 ජුනි මාසයේ දී ශ්‍රී ලංකාව ගැන සඳහන් කළ එක්සත් ජාතීන් මිලියන 1.7 ශ්‍රී ලාංකිකයන්ට ආහාර හිඟයක් ඇති බව ප්‍රකාශ කළේය. නොවැම්බර් අවසන් වන විට එම දත්ත යාවත්කාලීන කළ ඔවුහු පිරිස මිලියන 3.4 ක් බව ප්‍රකාශ කර තිබුණි.

රජයට හා පුද්ගලික අංශයට ආහාර පිළිබඳව වගකීමක්
ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් විය. ස්වකීය අවශ්‍යතා සඳහා බව බෝග වගාකරගත් පිරිසක් සිටියහ. සේවා ආර්ථිකයක් කරා පරිවර්තනය කර අපනයන බෝග සඳහා පෙළැඹවීම අවසානයේ රට පත්ව ඇති ඉරණම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානයට ලක් විය යුතුය. වැඩි පිරිසකක් සුළු ඉඩමක වාසස්ථානය තෝරා ගෙන ඇති අතර, අවශ්‍ය සියලුම දේ වෙළෙඳපොළෙන් මිල දී ගන්නා තැනට පත්ව සිටී. ගොවි පවුල්වල ඊළඟ පරම්පරාව පවා ගොවිතැනෙන් එනම් ආහාර නිෂ්පාදනයෙන් ඉවත්වන බව නිරීක්ෂණය වේ.
ලෝකයේ පවතින රටාව අනුව කෘෂි අංශය වේගයෙන් තාක්ෂණයට නතු වෙමින් තිබේ. මහ පරිමාණ ගොවිතැන් ක්‍රම, යන්ත්‍ර සූත්‍ර භාවිතය, ආරක්ෂිත ගෘහ වැනි ක්‍රමවේද පමණක් නොව කෘත්‍රිම බුද්ධිය ද යෙදවේ. එහෙත් මෙරට එවැනි පියවර කරා අවතීර්ණ වී නැත. තරුණ පිරිස් ගොවිතැනින් ඉවත්වන අතර, අවසානයේ දී කෘෂි නිෂ්පාදනය සීමිත පිරිසකට සීමා වේ. අලුත් වාර්තා දක්වන පරිදි රටට අවශ්‍ය සහල්, ධාන්‍ය, සීනි, එළවළු හා පලතුරු ආනයනට කරන්නට සිදු වී ඇත. ආනයන වියදම දරුණු ලෙස ඉහළ යන්නට එය බලපා තිබේ. දැනට සිටින ජනගහනය වසර 2030 වන විට තවත් වැඩිවන අතර, පවතින ආර්ථික රාමුව කෘෂිකර්මයට නොගැළපේ. රටක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් පවතින ඉලක්ක සාක්ෂාත් නොකරන පසුබිමක් සකස් වී ඇත.
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය නවීකරණය විය යුතුය. කුඩා ඉඩම්වල කරන වගාකටයුතු කාර්යක්ෂම එකක් නොවේ. සුළු ගොවිතැන ඵලදායී නැත. යෙදවුම් සඳහා විශාල පිරිවැයක් දරන්නට සිදුවේ. සෑම ග්‍රාම නිලධාරී වසමකම කෘෂි නිලධාරීහු ඇත. සමෘද්ධි නිලධාරීන් අතරින් කොටසක් කෘෂි කටයුතු ගැන සොයා බැලේ. රටට කෘෂිකර්ම විද්‍යාල අටකි. රාජ්‍ය හා පුද්ගලික ආයතනවල කෘෂිකර්ම ඩිප්‌ලෝමා හා උපාධි ලබා පිටවන තරුණ පිරිස දහස් ගණනකි. මෙම පිරිස සම්බන්ධ කෙරෙන ජාලගත වැඩ සටහනක් සැලසුම් කළ නොහැකි ඇයි? නීති පැනවීමෙන් ආහාර සුරක්ෂිතතාව ඇති කළ නොහැකි පරිදි නිසි සැලැස්මක් රහිත කෘෂිකර්මය ද කිසි සේත් නගාසිටුවිය නොහැකි බව දැක්විය යුතුය.
නිෂ්පාදනය පමණක් නොව ඒවා මිල දී ගැනීමේ හැකියාව
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ඉදිරියේ සලකා බැලිය යුතු කරුණු ගණනාවකි. ප්‍රවේශය, ඉහළිය හැකි මිල, ස්ථාවර සැපයුම හා විශේෂයෙන් පෝෂ්‍යදායීභාවය ගැන තකන්නට සිදුවේ. වත්මන්න ආණ්ඩුව පවා සිය අය වැය යෝජනාවල දී කෘෂි අංශය නගා සිටුවන ආකාරය, කිරි නිෂ්පාදනය වැඩි දියුණු කිරීම, ධීවර කටයුතු ඇතුළු නොයෙක් පැති ගැන අවධානය යොමු කර තිබුණි. එහෙත් අද වන විට සහල් මිල ඉහළය. කිරි ආහාරයට ගැනීම පහසු නැත. මාළු මිල ගණන් දෙගුණ තෙගුණ වී තිබේ. බිත්තර හා මස් මිල ගණන් ද සාමාන්‍ය දරු පවුලකට ඉහළිය නොහැක. ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමේ විධිවිධාන ගැන සාකච්ඡා හෝ සම්මන්ත්‍රණ පවත්වන නමුත් අවසානයේ දී පෝෂ්‍යදායී යමක් මිල දී ගැනීමටත්, එම ආහාර සැපයුම අඛණ්ඩව පවතින ආකාරය ගැනත් සොයා බැලීම අවශ්‍ය කෙරේ.
වී ගොවිතැනෙහි නිරත ගොවියෝ වී විකුණා ගැනීමට අපොහොසත්ය. ගොවියන්ගේ වී මිලදී ගැනීමේ නිරත අතරමැදියෝ පොහොසත්තුය. එළවළු වගා කරන ගොවියන්ගේ පැවැත්ම දුෂ්කරය. එහෙත් එළවළු බෙදාහරින අලෙවි කරන පිරිස් අති විශාල ආදායමක් උපයති. පාරිභෝගිකයන්ටද සහනයක් නැත. ගොවිතැනට සහන දෙන බව ප්‍රකාශ කර මහජනතාවගෙන් අය කරන බදු ඒවායේ සංවර්ධනයට වැය කරන පසු මහජනතාව ආහාර මිල දී ගැනීමට වැඩිම මිලක් ගෙවා ඇති අතර වගා කිරීමට ද වක්‍ර ආකාරයකින් ඔවුන්ගේ බදුවලින් දායකවී තිබේ. එය අසංවිධිත තත්වයක් බව සඳහන් කළ යුතුය.
සමස්ත කෘෂි අංශය ගැන අධ්‍යයනයක් කළ යුතුව තිබේ. එම වාර්තා පදනම් කරගෙන නිෂ්පාදනය වැඩි කරන ක්‍රමවේද ඉක්මනින් යෝජනා කළ යුතුය. පිරිවැය අවම කරන කෘෂිකර්මයක් අවශ්‍යය. අස්වැන්න අපතේ යන ප්‍රතිශතය අඩු කරගත යුතුව තිබේ. පසුගිය කාලයේ නෙළා ගත් අස්වැන්න වියළන ප්‍රාථමික ආකාරය මාධ්‍යවලින් අනාවරණය කර තිබුණි. මහා මාර්ගයේ අතුරා වී වියළන පසු විනාශවන ප්‍රතිශතය ඉහළය. නෙළා ගන්නා එළවළු සෝදා පිරිසුදු කරගන්නා ආකාරය හා ඒවා ප්‍රවාහනය කරන ආකාරයත් ඉතාම ප්‍රාථමික ක්‍රම බව දැකගත හැකිය. ශීතාගාර සකස්කරන අතර බෙදාහැරීම ක්‍රමවත් කරන බවට යෝජනා අමාත්‍යංශවල තිබේ. එම අදහස්වලට ආහාර සුරක්ෂිතතාව ඇතිකළ හැකිනම් ලොකයේ ආහාර සුරක්ෂිතතාව ඉහළින්ම ඇති රටක් සේ ශ්‍රී ලංකාව ශ්‍රේණිගත වනු ඇත. එහෙත් අවාසනාවකට ජනතාව පෙළන වෙළෙඳපොළක්, ආහාර හිඟවනු ඇතැයි බිය සහිත පරිසරයක්, මහන්සි වී ආපසු එන විට මොනවා හෝ බුදින සමාජයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය වී තිබේ.

