ආයෝජනයේදී කාල පරාසය වැදගත්ද?


මෙම ලිපිය ආයෝජකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සහ දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට අවශ්‍ය මග පෙන්වීමක් ලබාදීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් සකස් කරන ලද ලිපියකි.

ආයෝජනයේදී කාල පරාසය (කාල සීමාව) කොතරම් වැදගත්ද? කෙටි, මධ්‍ය කාලීන සහ දිගු කාලීන උපාය මාර්ග භාවිත කිරීමේ වැදගත්කම.

ආයෝජන කාල පරාසය යනු කුමක්ද? 

ආයෝජන කාල පරාසය යනු විශේෂ මූල්‍ය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබ ආයෝජනයක් තබා ගන්නා කාලයයි. ආයෝජනයකින් ඔබ අනාගතයේදී ප්‍රතිලාභයක් අපේක්ෂා කරන අතර එය ඔබගේ ආයෝජන අරමුණ අනුව එය වෙනස් විය හැකිය. ඔබ කෙටි කාලීන වියදමක් සපුරා ගැනීම සඳහා මුදල් ඉතිරි කරන්නේද, මධ්‍ය කාලීන අවශ්‍යතාවක් සපුරා ගැනීමට හෝ දිගු කාලීන අරමුණක් සඳහා ඉතිරි කරන්නේද යනාදී වශයෙන් ආයෝජන අරමුණු වෙනස් විය හැකි අතර ඊට අනුරූපව ඔබ ආයෝජනය කළ යුතු කාල පරාසය ද තීරණය වේ.  කෙටි, මධ්‍ය සහ දිගු කාලීන ආයෝජන අතර වෙනස්කම් අවබෝධ කරගෙන ඔබේ මූල්‍ය ඉලක්ක සමඟ පෙළගස්වමින් ඔබගේ ආයෝජන කළඹ සාර්ථකව පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. එසේම සාර්ථක ආයෝජන කළඹක් පවත්වාගෙන යාම සඳහා ආයෝජන කාල පරාසයද බෙහෙවින් උපකාරී වේ.  

කෙටි කාලීන ආයෝජනයක් ලෙස සාමාන්‍යයෙන් සලකනු ලබන්නේ වසර පහකට අඩු ආයෝජනයි. එවැනි ආයෝජන ලෙස භාණ්ඩාගාර බැඳුම්කර, මුදල් වෙළෙඳපොළ අරමුදල්, සාගමික ණයකර වැනි ඒවා පවත්වාගෙන යා හැකිය. මධ්‍ය කාලීන කාලපරාසයක් සහිත ආයෝජනවලට අවුරුදු තුනේ සිට දහය දක්වා විහිදෙන ආයෝජන ඇතුළත් වේ. ඉහත සඳහන් කළ ආයෝජන උපකරණයන් මධ්‍ය හා දිගුකාලීනව ද පවත්වාගෙන යා හැකි අතර කොටස්වලද ආයෝජනය කළ හැකිය. ඒවා බොහෝ විට උද්ධමනයට එරෙහිව ධනය ආරක්ෂා කරන අතර කොටස් සහ බැඳුම්කරවල සමතුලිත මිශ්‍රණයකටද මග පාදයි. දිගු කාලීන ආයෝජන කාල පරාසයක් සහිත ආයෝජන යනු අවුරුදු දහයකට වඩා වැඩි, කොටස් වැනි අවදානම් සහිත ආයෝජනයි. එවැනි දිගුකාලීන ආයෝජනවලට කාලයත් සමග ඉහළ ප්‍රතිලාභ ලබා ගත හැකිය. (සංයුක්ත වර්ධනය) මේ අනුව ආයෝජකයකු තම ආයෝජන අරමුණු සහ කාල පරාසයට අනුකූලව තම ආයෝජන කළඹ සකස් කළ යුතු වේ.  

ආයෝජන කාල පරාසය ඔබගේ ආයෝජන උපාය මාර්ගයට බලපාන ආකාරය.

ආයෝජන කාල පරාසය යනු ඔබ නිශ්චිත ඉලක්කයක් සඳහා ආයෝජනයක් කොපමණ කාලයක් තබා ගැනීමට සැලසුම් කරනවාද යන්නයි. ආයෝජන සාමාන්‍යයෙන් ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදා ඇත. එනම් කොටස් (අවදානම් සහිත) සහ බැඳුම්කර (අඩු අවදානම් සහිත) වශයෙනි. කාල පරාසය දිගු වන තරමට, ආයෝජකයකුට ඉහළ අවදානමක් සහිත ආයෝජන කළඹක් ගොඩ නඟා ගත හැකිය. කාල පරාසය කෙටි වන තරමට, ආයෝජකයාට අඩු අවදානම් සහිත ආයෝජන කළඹක් ගොඩ නඟා ගත හැකිය.

කෙටි කාල පරාසයක් සහිත ආයෝජනවල නිරත වීම 

කෙටි කාල පරාසයක් සහිත ආයෝජන යනු වසර පහකට අඩු කාලයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන ආයෝජනයි. විශ්‍රාම යාමට ආසන්නව සිටින හෝ නුදුරු අනාගතයේ දී විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය විය හැකි ආයෝජකයන් සඳහා මෙම ආයෝජන සුදුසු වේ. විශ්‍රාම වයසේ පසු වන්නන්ට අවදානම ගැනීමට විශාල කාලයක් නොමැත. මේ නිසා මුදල් වෙළෙඳපොළ අරමුදල්, කෙටි කාලීන බැඳුම්කර වැනි ආයෝජන උපාය මාර්ග ඔවුන් සඳහා ඇති හොඳම ආයෝජන තෝරා ගැනීම් වේ. මන්ද ඒවා පාඩුවක් නොවිඳ පහසුවෙන් මුදල් බවට පරිවර්තනය කළ හැකි බැවිනි.

ආයෝජකයන් දැනුවත් ආයෝජන තීරණ ගැනීම සඳහා ඔවුන්ගේ මූල්‍ය අරමුණු සහ කාල සීමා පරෙස්සමෙන් තක්සේරු කළ යුතුය. කෙටි කාලීන ඉලක්ක සඳහා කෙටිකාලීන ආයෝජනවලින් ද්‍රවශීලතාව සපයන නමුත් වටිනාකමින් උද්ධමනයට වඩා පසුගාමී විය හැකිය. මේ නිසා උද්ධමනය අභිභවා යන ආයෝජන උපාය මාර්ග තෝරාගෙන ආයෝජන කාලසීමා තේරුම් ගෙන කටයුතු කිරීමට ඔබ සූදානම් විය යුතුය. එමෙන්ම දිගු කාලීන ඉලක්ක සඳහා ගමන් කරන්නෙක් නම් කොටස් වෙළෙඳපොළ ආයෝජන වඩා සුදුසු වන අතර සැලකිය යුතු ප්‍රතිලාභ එමගින් ලබාදිය හැකි නමුත් කෙටි කාලීන අස්ථාවරත්ව එහි අන්තර්ගත විය හැකිය. ඔබේ ආයෝජන කාල සීමාව අවබෝධ කර ගැනීම අවදානම සහ ප්‍රතිලාභ අතර නිවැරැදි සමතුලිතතාවක් ඇති කර ගැනීමට ඔබට මග පෙන්වනු ඇත. 

මධ්‍ය කාලීන ආයෝජන කාල පරාසයක් සහිත ආයෝජන සැලසුම් කිරීම.

මධ්‍ය කාලීන ආයෝජන වසර තුනේ සිට දහය දක්වා පවතී, බොහෝ විට විශ්වවිද්‍යාල අධ්‍යාපනය, විවාහය හෝ පළමු නිවස වැනි ඉලක්ක සඳහා එවැනි ආයෝජන පවත්වා ගනී. මධ්‍ය කාලීන ආයෝජන උපාය මාර්ග ඉහළ සහ අඩු අවදානම් වත්කම් අතර සමතුලිතතාවක් පවත්වා ගැනීම වෙත නැඹුරු වේ. එබැවින් කොටස් සහ බැඳුම්කරවල මිශ්‍රණයක් සහිතව ආයෝජන පවත්වා ගැනීමෙන් උද්ධමනය හේතුවෙන් සිදුවිය හැකි වටිනාකම අහිමිවීම් වලින් ඔබේ ධනය ආරක්ෂා කර ගැනීමට වඩාත් සුදුසු ක්‍රමයක් වනු ඇත.

දිගුකාලීන ආයෝජන කාල පරාසය සඳහා උපාය මාර්ග

දිගු කාලීන ආයෝජන කාල පරාසයක් සහිත ආයෝජන යනු වසර දහයක් හෝ ඊට වැඩි කාලයක් සඳහා ආයෝජන තබා ගැනීමයි. කොටස් වෙළෙඳපොළ වැනි ආයෝජන දිගුකාලීන ආයෝජන වන අතර ආයෝජකයෝ සාමාන්‍යයෙන් වැඩි ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් වැඩි අවදානමක් වුවද ගැනීමට කැමැත්තෙන් සිටිති. කොටස් වෙළෙඳපොළ වැනි ආයෝජන තරුණ වයසේ පසු වන්නන්ට ඉතාමත් උචිත වේ. ලයිස්තුගත සමාගම්වල වර්ධනයන් සිදුවන්නේ කාලයත් සමග වන අතර තරුණ වයසේ පසුවන අයට ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමෙන් එසේ වර්ධනය වන සමාගම් වලින් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට ප්‍රමාණවත් කාලයක් තිබේ.

ආයෝජන කාල පරාසය පිළිබඳ සැබෑ උදාහරණයක් 

දෙදෙනෙක් විවාහ වී, දැන් නගරයේ ජීවත් වන අතරතුර, ඔවුන් තවත් වසර කිහිපයකින් නගරයෙන් පිට ප්‍රදේශයකට යාමට කැමත්තක් ඇතැයි සිතමු. ඔවුන්ගේ අරමුණ කෙටිකාලීනය. මේ නිසා නිවසක් කුලියට ගැනීමට මූලික ගෙවීමක් කළ යුතු අතර ඔවුන් සතුව ප්‍රමාණවත් මුදල් නොමැති බැවින්, ඔවුන්ට කල්තියා අරමුදල් රැස්කර ගැනීමට කෙටිකාලීන ආයෝජන අරමුණ වෙත යොමුවීමට අවශ්‍ය වනු ඇත. ඒ අනුව ඔවුන්ට ඇත්තේ කෙටි කාලීන ආයෝජන කාල පරාසයකි. එබැවින් තියුණු උච්චාවචන සහිත කොටස් වලින් කෙටිකාලීන අවශ්‍යතා සපුරා ගැනීම් වෙත යොමුවීම අවදානම් සහිත වේ. 

ඉහතකී දෙදෙනාම තම පළමු රැකියාවෙහි නිරත පුද්ගලයන් යැයි සිතුවොත් ඔවුන් දෙදෙනාම තරුණ බැවින්, ඔවුන්ගේ විශ්‍රාම යාම දක්වා ඇති කාලය සැලකිල්ලට ගෙන, දිගු ආයෝජන කාල පාරාසයක් සහිත ආයෝජන කළඹක් ඔවුන්ට පවත්වා ගත හැකි අතර ඕනෑම කෙටි කාලීන පසුබෑමකට ලක් වුවද යථා තත්වයට පත් වීමට ඉඩ තිබෙන බැවින් ඔවුන්ගේ වත්කම් වෙන් කිරීමේදී, කොටස්වල ආයෝජනයට සියයට 90 කට වඩා වැඩි ප්‍රමාණයකින් වෙන් කළ හැකිය. මෙම උදාහරණයට අනුව ඔවුන්ගේ ආයෝජන කාල පරාසය දිගු එකකි.  

ඊළඟට, ඔවුන් දැන් දරුවන් සිටින මවුපිය යුවලක් යයි සිතුවොත් දැන් ඔවුන් දරුවන්ගේ පාසල් අධ්‍යාපනය සඳහා ඉතිරි කිරීම ගැන සිතීමට පටන් ගත යුතුයි. එය මධ්‍යම හෝ දිගු කාලීන ඉලක්කයකි. ඒ සඳහා මධ්‍ය හා දිගුකාලීන කාලපරාසයක් සහිත ආයෝජන වෙත යොමුවිය යුතු වේ. මේ අනුව අප ඉහතින් සාකච්ඡා කළ ආයෝජන උපකරණ මධ්‍ය හා දිගුකාලයකට මිශ්‍ර කරමින් වුවද ආයෝජනය කළ හැකිය. එවැනි ආයෝජනවල කාල පරාසය මධ්‍ය කාලීන වේ.

ආයෝජන කාල පරාස හරහා අවදානම අවබෝධ කර ගැනීම

සෑම ආයෝජනයකම විවිධ අවදානම් අන්තර්ගත වේ. ව්‍යාපාර අසාර්ථක විය හැකිය. ණය ගැනුම්කරුවන් පැහැර හැරිය හැකිය. හොඳ ආයෝජන පවා වෙ​ෙළ‍ඳපොළ පසුබෑමකදී අවදානමට ලක්විය හැකිය. විවිධ අවදානම් සහ ආයෝජන කෙරෙහි ඒවායේ බලපෑම් පහත අයුරින් පෙන්වා දිය හැකිය. 

උද්ධමන අවදානම (Inflation Risk)

උද්ධමන අවදානම යන්නෙන් අදහස් කරන්නේ පාරිභෝගික මිල ගණන් අනපේක්ෂිත ලෙස ඉහළ යාම හේතුවෙන් ආයෝජනයක සැබෑ වටිනාකම පහත වැටීමේ අවදානමයි. කූපන් අනුපාත සාමාන්‍යයෙන් ස්ථාවර බැවින් බැඳුම්කර විශේෂයෙන් උද්ධමනයට ගොදුරු වේ. උද්ධමනයේ අනපේක්ෂිත වැඩිවීමක් ආයෝජනයෙන් අපේක්ෂිත ලාබ  අඩු කළ හැකිය. මේ නිසා ඔබ ආයෝජනයකට මුදල් යොදවන විට ආර්ථිකයේ පවතින උද්ධමන අනුපාතිකය අභිබවා යන ආයෝජනයකට මුදල් යෙදවීමට සෑම විටම උත්සාහ කළ යුතුය. 

සම්පත් මහතා රුපියල් 10,000 ක් වසර 5කට බැංකුවක තැන්පත් කළා යයි සිතුවොත් ඒ සඳහා බැංකුවෙන් වසරකට සියයට 3ක පොලියක් ඔහුට හිමි වේ. එහෙත් එම 5 අවුරුද්දට පවතින උද්ධමන අනුපාතය වසරකට සියයට 6ක් ලෙස උපකල්පනය කළහොත් ඔහුට මුලින් තිබුන රු. 10,000ට වඩා වසර 5ට පසු මුදල වැඩි වී තිබුණත්, උද්ධමන නිසා ඒ මුදලෙන් මිලදී ගත හැකි භාණ්ඩවල වටිනාකම අඩු වී තිබිය හැකිය. (රු. 8,660 වගේ අගයකට). මෙය උද්ධමන අනුපාතික අවදානම ලෙස හඳුන්වයි. පොලියෙන් ලැබෙන ආදායම උද්ධමන අනුපාතයට වඩා අඩුනම්, ඔබේ ආයෝජනයේ ”‍සැබෑ”‍ වටිනාකම අඩු වේ.

පොලී අනුපාත අවදානම (Interest Rate Risk)

පොලී අනුපාත අවදානම යනු පොලී අනුපාතවල අනපේක්ෂිත වැඩිවීමක් ආයෝජනයක සමහර ලාභ පහළ දැමිය හැකි අවදානමයි. උද්ධමන අවදානම මෙන්, මෙය සාමාන්‍යයෙන් බැඳුම්කර වැනි ස්ථාවර ආදායම් සුරැකුම්පත් සඳහා විශේෂයෙන් බලපානු ඇත.

ඔබ සියයට 5ක පොලී අනුපාතිකයක් සහිත 10 වසරක බැඳුම්කරයක් මිලදී ගන්නා බව සිතන්න. එවිට ඔබට වසරකට සියයට 5ක ආදායමක් ලැබේ. එහෙත් පොලී අනුපාතික අනාගතයේදී සියයට 7 දක්වා වැඩිවී නව බැඳුම්කරවලට සියයට 7ක අදායමක් ලබාදෙයි නම් ඔබේ සියයට 5ක බැඳුම්කරය ආකර්ෂණීය නොවන අතර එය ද්විතීයික වෙළෙඳපොළේ අඩු මිලකට විකිණිය හැකිය.

ව්‍යාපාර අවදානම (Business Risk)

ව්‍යාපාර අවදානම යන්නෙන් අදහස් කරන්නේ සමාගමක් අසාර්ථක වීමට හෝ බංකොලොත් වීමට ඇති අවදානමයි, එමගින් එම සමාගම විසින් නිකුත් කරන ලද ඕනෑම කොටස් හෝ බැඳුම්කරයක වටිනාකම පහත වැටීමට හේතු වේ. කිසිදු සමාගමක් ව්‍යාපාර අවදානමෙන් නිදහස් නොවූවත්, ඔවුන්ගේ ව්‍යාපාර සැලසුම් පරෙස්සමෙන් ඇගයීමෙන් ඔබට අවදානම් සහිත සමාගම්වල ආයෝජනයෙන් වැළකී බොහෝ දුර යා හැකිය. විවිධාංගීකරණය වූ ආයෝජන කළඹක් තිබීමෙන් ඔබට මෙම අවදානමෙන් මිදී සිදුවිය හැකි අවදානම අඩු කළ හැකිය.

පැහැර හැරීමේ අවදානම (Default Risk)

පැහැර හැරීමේ අවදානම යනු ණය ගැනුම්කරුවකුට තම ණය ආපසු ගෙවීමට නොහැකි වීමේ සම්භාවිතාවයි. මෙය සාමාන්‍යයෙන් බැඳුම්කර නිකුත් කරන්නන් සම්බන්ධ අවදානමකි. එහෙත් එය අනෙකුත් ඕනෑම ණය පදනම් වූ සුරැකුම්පත් සඳහා ද එය අදාළ විය හැකිය. ඉහළ ණය ශ්‍රේණිගත කිරීම් සහිත බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් ඔබට පැහැර හැරීමේ අවදානමට ලක්වීම අඩු කළ හැකිය.

වෙළෙඳපොළ අවදානම (Market Risk)

වෙළෙඳපොළ අවදානම, හෝ අවිනිශ්චිතතා අවදානම, සමපේක්ෂන හැසිරීම්, වෙළෙඳපොළ බිඳවැටීම් හෝ වෙනත් ගෝලීය සිදුවීම් මගින් ආයෝජනයක වටිනාකමට ඍණාත්මක බලපෑමක් ඇති කළ හැකි අවස්ථාව ගැන සඳහන් කරයි. දිගු කාලීනව වෙළෙඳපොළ ඉහළට නැඹුරු වන බැවින් වෙ‍ළෙඳපොළ අවදානම සාමාන්‍යයෙන් කෙටි හා මධ්‍ය කාලීන ආයෝජන කාලපරාස සඳහා විශාල ලෙස බලපානු ඇත. 

සාරාංශය

ආයෝජකයන් දැනුවත් ආයෝජන තීරණ ගැනීම සඳහා ඔවුන්ගේ මූල්‍ය අරමුණු සහ කාල සීමා පරෙස්සමෙන් තක්සේරු කළ යුතුය. කෙටි කාලීන ඉලක්ක සඳහා කෙටිකාලීන ආයෝජනවලින් ද්‍රවශීලතාව සපයන නමුත් වටිනාකමින් උද්ධමනයට වඩා පසුගාමී විය හැකිය. මේ නිසා උද්ධමනය අභිබවා යන ආයෝජන උපාය මාර්ග තෝරාගෙන ආයෝජන කාලසීමා තේරුම් ගෙන කටයුතු කිරීමට ඔබ සූදානම් විය යුතුය. එමෙන්ම දිගු කාලීන ඉලක්ක සඳහා ගමන් කරන්නෙක් නම් කොටස් වෙළෙඳපොළ ආයෝජන වඩා සුදුසු වන අතර සැලකිය යුතු ප්‍රතිලාභ එමගින් ලබාදිය හැකි නමුත් කෙටි කාලීන අස්ථාවරත්ව එහි අන්තර්ගත විය හැකිය. ඔබේ ආයෝජන කාල සීමාව අවබෝධ කර ගැනීම අවදානම සහ ප්‍රතිලාභ අතර නිවැරදි සමතුලිතතාවක් ඇති කර ගැනීමට ඔබට මග පෙන්වනු ඇත. එමගින් දිගුකාලීන වර්ධනය වැඩි දියුණු කිරීමට ඉඩ සලසයි.