
ආපදා ප්‍රතිසාධනය (Disaster Recovery) යනු ආපදාවකින් පසු ජනතාවගේ ජීවිත යථා තත්වයට පත් කිරීම, හානි වූ නිවාස හා යටිතල පහසුකම් නැවත ගොඩනැගීම, සහ සමාජ-ආර්ථික ක්‍රියාකාරකම් යළි ආරම්භ කිරීමට සිදුකරන දිගුකාලීන ක්‍රියාවලියයි. ආපදා ප්‍රතිසාධනය ප්‍රධාන අංග කීපයකින් සමන්විත වේ. පළමුව, සහන සැලසීම (Relief) එනම් වහාම ආහාර, ජලය, වෛද්‍ය ආධාර, සහ ආරක්ෂාව සැපයීම සිදුකළ යුතුය. දෙවනුව, පුනරුත්ථාපන (Rehabilitation) කටයුතු ප්‍රමුඛ විය යුතුය. ඒ යටතේ ආපදා නිසා අහිමි වූ ජීවනෝපාය නැවත ගොඩනැගීම, නිවාස අලුත්වැඩියා කිරීම සහ මූලික සේවා නැවත ස්ථාපිත කිරීම කළ යුතුය.
තුන්වනුව, නැවත ගොඩනැගීම නැතහොත් යළි ඉදිකිරීම (Reconstruction) කටයුතු කළ යුතු අතර ඒ යටතේ හානියට පත් වූ යටිතල පහසුකම් (ආර්ථික යටිතල පහසුකම් - මහාමාර්ග, වාරිමාර්ග, විදුලි සහ සංනිවේදන පද්ධතිය, සමාජ යටිතල පහසුකම් - නිවාස, රෝහල සහ පාසල්) මෙන්ම නිෂ්පාදන අංශය (කෘෂිකාර්මික, කාර්මීක, සහ සේවා ව්‍යාපාර) නැවත ගොඩනැගීම සදහා අවශ්‍ය මැදිහත්වීම සිදුකළ යුතුය. මෙසේ සිදුකරනු ලබන යළි ගොඩනැංවීම් ආපාදාවලට වඩාත් හොඳින් ඔරොත්තුදෙන ආකාරයෙන් කළ යුතුය. වෙනත් වචන වලින් පවසතොත් පෙර තත්වයෙන්ම ගොඩනංවනවා වෙනුවට වඩාත් යෝග්‍ය වන ආකාරයෙන් එය කළ යුතුවේ.
ප්‍රතිසාධනයේ සිට හානි අවමකිරීම වෙතට (from Recovery to Mitigation)
ශ්‍රී ලංකාවට අදාළව ආපදා ප්‍රතිසාධනයෙන් ඔබ්බට යමින් අනාගත ආපදා තත්වයන්ගෙන් සිදුවන හානිය අවම කිරීම සඳහා ද අයෝජන කළ යුතුව ඇත. පුළුල්ව ගත්කල කාලගුණික සහ දේශගුනික විපර්යාස නිසා සිදුවන තත්වයට (උෂ්ණත්වය ඉහළයෑම්, අධික වැසි හේතුවෙන් සිදුවන නායයෑම් සහ ජලගැලීම්, සුළි කුණාටු හේතුවෙන් සිදුවන හානි මෙන්ම භූකම්පන සහ ඒ හේතුවෙන් සිදුවන සුනාමි වැනි තත්ව) මුහුණ දීමට රට සුදානම් කිරීම සදහා ද ආයෝජනය කළ යුතුය. ලෝක බැංකු අධ්‍යයනවලින් පෙන්වා දී ඇති කරුණක් වන්නේ පසුගිය වසර 50කට ආසන්න කාලය ගත්විට මෙරටට බලපෑ විවිධ ස්වාභාවික විපත් හේතුවෙන් වාර්ෂිකව ඇ.ඩොලර් මිලියන 330ක පමණ පාඩුවක් දැරීමට ආර්ථිකයට සිදුව ඇති අතර ඉන් ඩොලර් මිලියන 240ක් ම ගංවතුර හේතුවෙන් සිදුව ඇති බවය.
ලෝක බැංකුව පවසන පරිදි එවැනි විපත් නිසා 2035 වන විට දළ දේශීය නිමවුමෙන් සියයට 1ක පමණ පිරිවැයක් දැරීමට සිදුවන අතර 2053 වන විට එම පිරිවැය දළ දේශීය නිෂ්පාදනය සියයට 3.5 දක්වා ඉහළ යෑමට නියමිතව ඇත. ඒ අනුව ආපදා ප්‍රතිසාධනය සඳහා මෙන්ම ඉදිරි ආපාදවලින් ඇතිවිය හැකි හානි වළක්වාලීමට ද ලංකාව කඩිනමින් ආයෝජනය කළ යුතුව ඇත. විශේෂයෙන්ම ආපාදා හානි වළක්වාලීම සදහා ආයෝජනය නොකර දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් ආර්ථිකය තුළ ආයෝජන කටයුතු සිදු කරතැයි අපේක්ෂා කළ නොහැක. සංචාරක කර්මාන්තයට ද එවැනි තත්ව අහිතකරව බලපානු ඇත. විශේෂයෙන්ම සාර්ව-රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථායීතාව පවත්වා ගෙන යාමට ද එවැනි අයෝජන අතිශය වැදගත් වේ. කෙටියෙන්ම පවසතොත් මෙරට ඉදිරි තිරසාර ආර්ථික සංවර්ධනය මුළුමනින්ම රඳා පවතින්නේ අප කොතෙක් දුරට දේශගුණික බලපෑම් නිසා ඇතිවන ස්වාභාවික ආපදාවලට අදාළ හානි පහත හෙළීමට ආයෝජන කරනවාද යන්න මතයි.
ආපදා ප්‍රතිසාධනයට මෙන්ම ඉදිරි ආපදාවලින් ඇතිවිය හැකි හානි වළක්වාලීමට අදාළව අයෝජන සඳහා අතිවිශාල වියදමක් දැරීමට ලංකාවට සිදුව පවතින පරිසරයක ඒ සඳහා අවශ්‍යවන මූල්‍ය සම්පත් සොයා ගන්නේ කෙසේද යන්න රජය හමුවේ ඇති ප්‍රධානතම අභියෝගයක් වේ. මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වන්නේ වෙනත් රටවල අත්දැකීම් ද පදනම් කරගනිමින් ආපදා ප්‍රතිසාධනය සහ ඉදිරි ආපදාවලින් සිදුවන හානි අවම කරගැනීමට අවශ්‍යවන අයෝජන මූල්‍යකරණය සඳහා ගතහැකි පියවර මොනවාද යන්න පිළිබඳව කෙටි විවරණයක් ඉදිරිපත් කිරීම වේ. එහිදී මෑතකදී මුහුණදුන් විදේශ ණය අර්බුදය හේතුවෙන් ලංකාව මේවන විට මුහුණ පා සිටින සුවිශේෂිත තත්වය ද සැලකිල්ලට ගනිමින් එවැනි යෝජනා ඉදිරිපත් කිරීමට උත්සුක වේ.
ආයෝජන අවශ්‍යතාව කොපමණ විය හැකිද?
දිට්වා සුළි කුණාටුවේ බලපෑම නිසා ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ආර්ථිකයට දැරීමට සිදුව ඇති පිරිවැය කොතෙක් ද යන්න පිළිබඳව මෙතෙක් දත්ත ඉදිරිපත්ව නොමැත. පිරිවැය තක්සේරු කිරීමට රජය ලෝක බැංකුවේ සහ යුරෝපා සංගමයේ විශේෂඥ සහාය ඉල්ලා ඇති බව කියවේ. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය ජනරාල්වරයා ගේ දළ ඇස්තමේන්තුවට අනුව එම පිරිවැය ඩොලර් බිලියන 6-7ත් අතර වෙතැයි මේ වනවිටත් ප්‍රකාශීතව ඇත. දැනට ප්‍රකාශිතව ඇති දත්ත අනුව (06/12/2025), පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති නිවාස සංඛ්‍යාව 4,100ක් පමණ වන අතර අර්ධ වශයෙන් හානියට පත්ව ඇති නිවාස ගණන 71,000 පමණ වේ. ලක්ෂ 6ක පමණ පවුල් සංඛ්‍යාවක මිලයන 2ක පමණ පුද්ගලයන් දිට්වා සුළිකුණාටුව හේතුවෙන් බලපෑමට ලක්ව ඇති අතර මියගිය ගණන 618කි. තවත් පිරිසක් අතුරුදන්ව සිටිති. ආර්ථික යටිතල පහසුකම් මෙන්ම කෘෂිකාර්මික, කාර්මික සහ සේවා අංශයට අයත් නිෂ්පාදන කටයුතු දැඩිව බලපෑමට ලක්ව ඇති බව වාර්තා වේ. ඒ අනුව, ප්‍රතිසාධනය සඳහා සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් වැය වෙතැයි අපේක්ෂා කළ හැකිය.
පසුගියදා රජය 2025 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවකට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත්තේය. ශ්‍රී ලංකා මහබැංකුව මගින් මෑතක දී ප්‍රකාශයටපත්කළ Sustainable Finance Road Map 2 මගින් පෙන්වා දී ඇති පරිදි දේශගුණික බලපෑම් අවම කිරීමට ලංකාව වාර්ෂිකව ඩොලර් බිලියන 4ක පමණ මුදලක් වැය කළ යුතු බව පෙන්වා දී ඇත. තවදුරටත් එම වාර්තාව පෙන්වා දී ඇති කරුණක් වන්නේ එම අවශ්‍යතාවෙන් ඉතා සුළු කොටසක් පමණක් දේශීයව සපයාගත හැකි බවයි.
ඒ අනුව පෙනීයන කරුණක් වන්නේ ආපදා ප්‍රතිසාධනය (Disaster Recovery) සහ දේශගුණික බලපෑම් අවම කිරීම (Climate Mitigation) සඳහා අවම වශයෙන් අැමෙරිකානු ඩොලර් බිලියන 3-5ත් අතර ගණනක් 2026 වසර තුළ දැරිය යුතු බවයි. එම ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 4-5 අතර ප්‍රමාණයකි. 2026 සඳහා රාජ්‍ය ආයෝජන වෙනුවෙන් වෙන් කරන ලද්දේ මෙම මුදල හා සමාන අගයක් වේ. ඒ අනුව ඇති අභියෝගය වන්නේ මෙතරම් ආයෝජනයක් මූල්‍යකරණය කරන්නේ කෙසේද යන්නය.
ආපදා ප්‍රතිසාධන මූල්‍යකරණයට ගෝලීයව පවතින යාන්ත්‍රණ මොනවාද?
යම් ආපදාවක් යටතේ ජාතික ආපදා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරන අවස්ථාවල ලෝක බැංකුවේ Catastrophe Deferred Drawdown Option (Cat-DDO) යටතේ ආපදා ප්‍රතිසාධනය සඳහා අරමුදල් ලබා ගැනීමේ හැකියාව පවතී. මේ යටතේ ලංකාව ප්‍රථම වතාවට 2016 වසරේ ඇති වූ ගංවතුර සහ නායයෑම්වලින් සිදුවූ ආපදා තත්වය ප්‍රතිසාධනය කිරීමට ඇ.ඩොලර් මිලියන 102ක මුදලක් ලබා ගන්නා ලදී. මෙම ණය පහසුකම යටතේ ආපදා අවදානම් කළමනාකරණ වැඩසටහනකට අදාළව මෙම මූල්‍ය පහසුකම සපයන අතර විශේෂයෙන්ම ආපදා අවස්ථාවල රාජ්‍ය මූල්‍යයට අදාළව පැවතිය හැකි ද්‍රවශීලතා ගැටලු ද මෙමගින් ආමන්ත්‍රණය කරනු ලබයි.
ටැන්සානියාවට මෑත කාලීනව බලපෑ සුළිකුණාටු සහ වැසි තත්වය හේතුවෙන් එරට ආර්ථිකයට ඇ.ඩොලර් මිලියන 368ක පමණ අලාභයක් සිදු වූ අතර Catastrophe Deferred Drawdown Option (Cat-DDO) යටතේ ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 200ක් 2025 වසරේ දී ලබාදෙන ලදී. 2020 වසරේ දී මෙම පහසුකම යටතේ කොලොම්බියාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් ලබාදුන් අතර 2018 වසරේ දී පිලිපීනයට බලපෑ Ompong සුළිකුණාටුවෙන් ඇතිවූ ආපදා තත්වය යටතේ ලෝක බැංකුව විසින් Cat-DDO යටතේ ඇ.ඩොලර් මිලියන 496ක මුදලක් ලබාදෙන ලදී. ලෝක බැංකුවේ මෙම පහසුකම යටතේ, 2024 වසර අවසන්වන විට, වැඩි විශයෙන්ම ප්‍රතිලාභ ලබන ලද රට වන්නේ ද පිලිපීනයයි. ඒ අනුව, ලෝක බැංකුවේ Cat-DDO යටතේ ඇ.ඩොලර් මිලියන 500ක පමණ මුදලක් ලබාගැනීමට මෙරටට හැකි වෙතැයි අපේක්ෂා කළ හැකිය.
භාවිත කළ හැකි තවත් මූල්‍ය සම්පත් මූලාශ්‍රයක් වන්නේ බහුපාර්ෂවික සංක්‍රාම සහ ණය වැඩසටහන් වේ. විශේෂයෙන්ම ආපදා හානි වළක්වාලීමට අවශ්‍ය කෙරෙන ආයෝජන ලෝක බැංකුවේ Climate Resilience Improvement Project (CRIP) යටතේ ලබාගැනීමට හැකියාව පවතින අතර මේ යටතේ 2021 දක්වා ගංගා ද්‍රෝණි 11ක ගංවතුර පාලනය සඳහා ක්‍රියාත්මක වූ වැඩසටහනක් ද පවතී. විශේෂයෙන්ම කැලණි ගඟ ආශ්‍රිතව ජල ගැලීම් වළක්වාලීමට වූ දිගුකාලීන වැඩසටහනක් දැනටමත් සකස්කර පවතී. එම වැඩ සටහන නැවත ආරම්භ කළ යුතුව ඇත.
එසේම ආසියානු සංවර්ධන බැංකුව, න්‍ෂක්‍් වැනි ආයතන මගින් දිගු කාලීන සහන කොන්දේසි යටතේ වූ ණය පහසුකම් ලබා ගැනීම පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇත. ස්වාභාවික ආපදා හේතුවෙන් ගෙවුම් ශේෂය සහ අයවැය ආශ්‍රිතව සිදුවිය හැකි ද්‍රවශීලතා අපහසුතා මගහරවා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතේ ද කෙටි කාලීන මූල්‍ය පහසුකම් (Rapid Financing Instrument) පවතී. ලංකාව දැනටමත් ඒ යටතේ ඇමෙරිකානු ඩොලර් මිලයන 200ක මූල්‍ය පහසුකමක් ඉල්ලා ඇති අතර එම ඉල්ලීම මේවන විට එම අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සලකා බලමින් සිටී. මීට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ඇති විවිධ සංවිධාන මගින් ද ආපදා අවස්ථාවල දී ආධාර ලබා ගැනීමේ හැකියාව පවතී.
විදේශගත ලාංකීක ප්‍රජාව සාභාගීකරගත හැකිද?
ආසන්න වශයෙන් ලාංකිකයන් මිලියන 3ක් පමණ විදේශගතව ජීවත්වන බව කියැවේ. මෙම පිරිස මෙරට ආර්ථික සංවර්ධනයට දායක කරගැනීම පිළිබදව නිරන්තරයෙන් අවධානය යොමු වෙමින් පැවතියත් මෙතෙක් පලදායී සහ විධිමත් ලෙස මෙම පිරිස මෙරට සංවර්ධනයට දායක කරගැනීමක් දක්නට නැත. මෙම ආපදාකාරී තත්වය තුළ විදේශගතව ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය ලබාගැනීමට විධිමත් වැඩසටහන් දියත් කළ යුතුව ඇත. ඒ සඳහා එක් හේතුවක් වන්නේ ආර්ථික අර්බුදයත් සමග ලංකාවට තවමත් ජාත්‍යන්තර ණය වෙළෙඳපොළේ ණය ලබාගැනිමේ හැකියාවක් නොමැති වීමය. ද්විපාර්ෂික හෝ බහු පාර්ෂවික මූලාශ්‍ර මගින් කොතෙක් දුරට ණය පහසුකම් ලබාදීමට ඉදිරිපත්වේ ද යන්න තවමත් සැකසහිතය. විශේෂයෙන්ම ණය පැහැර හැරීම සහ වත්මන් රාජ්‍ය මූල්‍ය අවකාශය යහපත් තත්වය නොමැති වීම යන කරුණ මත ඉහත මූලාශ්‍රවලින් ණය ලබාදීම පිළිබදව දෙවරක් කල්පනා කිරීමට ඇති ඉඩකඩ වැඩිය. එවන් පසුබිමක් තුළ විදේශගත ශ්‍රි ලාංකිකයන්ගේ සහයෝගය ලබාගැනීම අතිශ්‍යය වැදගත් වේ. ඉන්දියාව, බංගලාදේශය, හයිටි, නේපාලය, සහ ඉතියෝපියාව වැනි රටවල් ස්වාභාවික ආපදා වලින් පසු සිදුකරනු ලබන ප්‍රතිසාධන කටයුතු සඳහා විදේශගතව ජීවත්වන ඒ ඒ රටවල ප්‍රජාවගෙන් පමණක් නොව කෙටිකාලීනව විදේශගතව රැකියා කරනු ලබන ශ්‍රමිකයන්ගේ ද මූල්‍යමය සහයෝගය විවිධ වූ වැඩසටහන් මගින් ලබාගැනීමට සමත්ව සිටී.
විශේෂයෙන්ම විදේශ ගත ලාංකිකයන් ඉලක්ක කරමින් බැදුම්කර (Diaspora Bonds) නිකුත් කිරීම මෙන්ම විවිධ වූ වැඩසටහන් මගින් අරමුදල් රැස්කිරීම පිළිබදව අවධානය යොමු කළ යුතු වේ. විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන ප්‍රේෂණ ඉහළනංවා ගැනීම පිළිබදව අවධානය යොමු කළ යුතුය. වත්මන් රජය බලයට පත්වීමට පෙර සඳහන් කළ කරුණක් වුයේ ඔවුන්ගේ රජයක් යටතේ විදේශගතව සිටින ලාංකීක ප්‍රජාව සහ විදේශ රැකියාවල නියුතු පිරිස්වල සහයෝගය ණය අර්බුදය විසඳීමට ලබාගැනීමේ හැකියාවක් ඔවුන් සතුවන බවයි. එම සහයෝගය ලබාගැනීමට මෙම අවස්ථාව කදිම එකක් යැයි සිතේ. එසේම රජය අවධානය යොමුකළ යුතු තවත් අංශයක් වන්නේ ගෝලීය මූල්‍ය පහසුකම් යටතේ පවතින දේශගුණික බලපෑම් අවම කිරීමට පවතින මුල්‍ය පහසුකම් (Climate Financing) ලබා ගැනීම වේ. මේ යටතේ විවිධ මූල්‍ය උපකරණ (Green Bonds වැනි) පවතින අතර එවැනි මූල්‍ය උපකරණ සහ මූල්‍ය පහසුකම් භාවිත කිරීමට රජයේ අවධානය කඩිනමින් යොමු කිරීම වැදගත්ය.

රාජ්‍ය සහ දේශීය පෞද්ගලික අංශයට කුමක් කළ හැකිද?
ප්‍රතිසාධනයට සහ ඉදිරි ආපදා මගින් ඇතිවිය හැකි හානි අවම කිරීමට අවශ්‍ය වන අරමුදල් ලබාගැනීම සඳහා කළ හැකි තවත් උපක්‍රමයක් වන්නේ රාජ්‍ය ආයෝජන කිරීමේ දී මෙම කේෂ්ත්‍රයට ඉහළ ප්‍රමුඛතාවක් ලබාදීම වේ. විශේෂයෙන්ම වෙනත් අංශවලට දැනටමත් වෙන්කර ඇති අරමුදල් මෙම අංශයට මාරුකිරීමේ හැකියාවක් පවතීද යන්න සොයා බැලීම මෙහිදී අතිශය වැදගත් වේ.
රාජ්‍ය මූල්‍යයට අදාළව පවතීන සීමාකම් ලිහිල්කිරීම කළ හැකිද යන්න විමසා බැලීම මෙහිලා වැදගත්ය. විශේෂයෙන්ම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට ප්‍රකාරව රජයේ ප්‍රාථමික වියදම් දළ දේශීය නිමවුමේ ප්‍රතිශතයක් ලෙස සියයට 13 හෝ ඊට අඩුවෙන් පවත්වාගෙන යායුතුය යන්න නීතිගතව පැවතියත් ඊට අදාළව යම් නම්‍යශීලිබවක් ඇතිකළ හැකිද යන්න සොයා බැලීම වැදගත්ය.
එවැනි වෙනස්කම් තාවකාලික විය යුතු අතරම, කරනු ලබන එවැනි වෙනස්කම් කිසිසේත්ම ආර්ථික ස්ථායීකරණයට ඝෘණාත්මකව බලපෑම් නොකළ යුතුය. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය වියදම් අතහැර දැමීම පිළිබඳව රජය අවධානය යොමු කළ යුතු අතර නාස්තිය සහ දූෂණය වැළැක්වීමට පියවර ගත යුතුය.
කෙටි කාලීනව රාජ්‍ය වියදම් කේෂ්ත්‍රයට අදාළව වෙනස්කම් හඳුන්වාදීම මෙහිලා අතිශය වැදගත්ය. එමෙන්ම ප්‍රතිසාධන ක්‍රියාවලිය මෙන්ම ආපදා බලපෑම් අවම කිරීමට කරනු ලබන ආයෝජනවලදී පෞද්ගලික අංශයේ පූර්ණ සහයෝගය ලබාගැනීම කළ යුතුව ඇත.
විශේෂයෙන්ම, මූල්‍ය, අපනයන, සහ මහාපරිමාණ සමාගම්වලට තම සමාජීය වගකීම් වියදම් යටතේ ආපදා තත්වය නිසා බිඳවැටී ඇති සාමාන්‍ය ජනයාගේ ජන ජීවිතය ගොඩනැංවීමට උපකාර කළ හැකිය. එවැනි ආයතනවල සමාජීය සහ පාරිසරික වගකීම් සඳහා වූ වියදම් සඳහා මූල්‍ය වෙන්කිරීම් පවතින අතර මෙවන් ආපදා තත්වවලදී එවැනි වෙන්කිරීම් භාවිත කිරීමේ හැකියාව පවතී.
එමෙන්ම සමාජ යටිතල පහසුකම් (නිවාස, අධ්‍යපනික ආයතන, රොහල් වැනි) සැපයීමට ද එවැනි අරමුදල් භාවිත කළ හැකිය. මේ සඳහා පවතින කදිම උදාහරණය වන්නේ ඉන්දුනීසියාවේ ඇති වූ ස්වාභාවික ආපදා අවස්ථාවල එරට මූල්‍ය ආයතන සහ මහා පරිමාණ ආයතන ආපදාවලට ලක්වූ පිරිස්වල ජීවනෝපාය, නිවාස සහ සමාජීය යටිතල පහසුකම් සැපයීමට සිදුකරනු ලැබූ මැදිහත් වීම වේ.
එවැනි උදාහරණ බංගලාදේශය සහ නේපාලය වැනි රටවලින් ද ලබාදිය හැකිය. මෙරට පෞද්ගලික අංශය පෙරට වඩා සමාජීය සහ පාරිසාරික තිරසාරත්වයට අදාළව මැදිහත්වීමක් කළ යුතුව ඇත. මෙහිදී බැංකු සහ මූල්‍ය ආයතනවලට ඇති සමාජීය වගකීම අතිමහත්ය. ස්වාභාවික ආපදාවේ සෘඡු හෝ වක්‍ර බලපෑම මත තම ව්‍යාපාර/රැකිය කටයුතු අඩාලවී ඇති පිරිස් ලබාගෙන ඇති මූල්‍ය පහසුකම් යළි අයකිරීමේ දී වඩාත් සාධාරණ වූ ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ.
නිගමනය
ආපදා ප්‍රතිසාධනය සහ හානි අවම කිරීම සඳහා වූ ආයෝජන කඩිනමින් කළ යුතුව ඇත. ඒ සඳහා විවිධවූ සැලසුම් පවතී. එහෙත් එවැනි වැඩසටහන් යටතේ ඇති ව්‍යාපෘති මූල්‍යකරණය කරන්නේ කෙසේද යන්න අප හමුවේ ඇති ප්‍රධානතම අභියෝගයයි. ණය අර්බුදයකට මුහූණපා යාන්තමින් ආර්ථික ස්ථායීතාව ඇති කරගනිමින් ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩසටහන අවසන්කරමින් සිටන මොහොතක අලුතින් ණය ලබාගැනීමට අදාළව විවිධ සීමාකම් පවතී.
විශේෂයෙන්ම රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ රජයට පමණක් අවශ්‍යවන ආයෝජන කිරීමේ හැකියාව නොමැති අතර මේ නිසාම ද්වි-පාර්ෂික මෙන්ම බහු-පාර්ෂවීය මූලාශ්‍රවලින් ආධාර සහ ණය ලබාදීමට කොතෙක් දුරට සූදානම් ද යන්න අවිනිශ්චිත වේ. එවන් පසුබිමක වූවත් ප්‍රතිසාධනය සහ අවම කිරීම්වලට අවශ්‍ය මූල්‍ය සම්පත් ද්වි-පාර්ෂවීය සහ බහු-පාර්ෂවීය ණය ලබාදෙන රටවල් සහ ආයතනවලින් ලබාගැනීමට අවධානය යොමුකළ යුතුව ඇත.
විශේෂයෙන්ම ආපදාවෙන් සිදු වූ ආර්ථික පිරිවැය තක්සේරු කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර ආධාර සමුළුවක් පැවත්වීම මෙහිලා අතිශය වැදගත්ය. එමෙන්ම, ආපදාවෙන් සිදුවූ ආර්ථික බලපෑම පිළිබද ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කරමින් වෙළෙඳපොළ අවස්ථා (යුරෝපා සංගමයේ රටවල්වලට මෙන්ම ඇෙමරිකානු ප්‍රතිචාරීක තීරුබදුවලට අදාළ යම් සහන ලබාගැනීම පිළිබඳව අවධානය යොමු කළ යුතුය.
එමෙන්ම, විදේශගතව ජීවත්වන ලාංකේය පිරිස්වල සහාය මෙන්ම විදේශගත ශ්‍රමිකයන්ගේ සහයෝගය ප්‍රතිසාධන කටයුතුවලට ලබා ගැනීමට විධිමත් වැඩසටහනක් දියත් කළ යුතුව ඇත. රාජ්‍ය වියදම් යළි පෙළගැස්සවීම පිළිබඳව මෙන්ම නාස්තිකාර සහ පලදායී නොවන වියදම් කපාහැරීම පිළිබඳව අවධානය යොමු කළ යුතුය. ආපදා ප්‍රතිසාධනය සඳහා පෞද්ගලික අංශයේ සක්‍රිය සාභාගීත්වය ලබාගැනීම වැදගත් වේ.
මෙම වසර තුළ ආර්ථීක කම්පන දෙකකට මුහුණ දීමට ලාංකේය ආර්ථිකයට සිදුව ඇත. ඉන් එකක් වන්නේ, ඇමරිකානු ආරක්ෂණවාදී වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිපත්තිය වේ. අනෙක් කම්පනය නම් පසුගිය දා සිදු වූ ආපදා තත්වයයි. බාහිර සහ අභ්‍යන්තර කම්පනවලට සාර්ථකව මුහුණ දීමට නම් අප ආර්ථික වශයෙන් ශක්තිමත් විය යුතුව ඇත. දිගින් දිගටම විදේශ ආධාර/ණය මත ඉහළ රැඳියාවක් පවත්වා ගැනීම හේතු ගණනාවක් නිසා යෝග්‍ය වන්නක් නොවේ.
එබැවින් ආර්ථික ස්ථායීතාව රැකගනිමින් තිරසාරව ආර්ථික වර්ධනය ඉහළනැංවීමට අවශ්‍ය වන්නාවූ ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීම ප්‍රමාදය යෝග්‍ය වන්නක් නොවේ. ආර්ථික පරිවර්තනයක් කිරීමට 2024 අගෝස්තු මස පාර්ලිමේන්තුව සම්මත කරන ලද ආර්ථික පරිවර්තන පනත මගින් යෝජනා කර ඇති ව්‍යුහාත්මක සහ ආයතනික ප්‍රතිසංස්කරණ ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුව ඇත. අප හමුවේ ඇති අභියෝගය වන්නේ තව දුරටත් ජාත්‍යන්තර ප්‍රජාව මත යැපීමට කටයුතු කරනවාද නොඑසේ නම් ස්වශක්තියෙන් නැගීසිටීමට කටයුතු කරනවාද යන්නයි. ස්වශක්තියෙන් නැගීසිටිය හැක්කේ කථාවෙන් නොව ක්‍රියාවෙන් බව සැවොම මතක තබාගත යුතුව ඇත.


