දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වූ සෑම රටක්ම එම ආර්ථික ශක්තිය ගොඩනගා ගනු ලැබුයේ වේගවත් අපනයන ප්‍රවර්ධනයකින් බව අමුතුවෙන් කිව යුතු නැත. 1960-80 දශකවල ජපානය, දකුණු කොරියාව, තායිවානය, සිංගප්පූරුව, හොංකොං වැනි නැගෙනහිර ආසියාතික රටවල් අත්දකින ලද වේගවත් ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයට මූලික අඩිතාලම වූයේ අපනයන ප්‍රවර්ධනයයි.
එමෙන්ම, 1980 දශකයෙන් පසුව ලෝක ආර්ථිකයට විවෘත වූ චීනය, ඉන්දියාව, වියට්නාමය වැනි රටවල් ද මෑත කාලීනව අත්කරගෙන ඇති වේගවත් ආර්ථික වර්ධනය පිටුපස ඇති ධාවක බලවේගය වනුයේ වේගවත් අපනයන ප්‍රවර්ධනයයි. ඉහත සාර්ථකත්වය නිසාම, ආර්ථික වර්ධනය සහ සංවර්ධනයෙහිලා ජාත්‍යන්තර වෙළෙඳාමේ ඇති අවශ්‍යතාව දක්ෂිණාංශික මතධාරීන් පමණක් නොව වාමාංශික මතධාරීන් ද අද වනවිට පිළිගනු ලබන මූලික සිද්ධාන්තයකි. අපනයන ප්‍රවර්ධනයට අදාළව ශ්‍රී ලංකාව අත්කරගත් ප්‍රගතිය සෑහීමකට පත්විය හැකි මට්ටමක නොමැති බව අද වන විට සියලු දෙනා පිළිගන්නා කරුණකි. දකුණු ආසියාතික රටවල් අතුරින් ශ්‍රී ලංකාව පළමුවෙන් ම ගෝලීය ආර්ථිකයට විවෘත කරනු ලැබුවත් ඒ හරහා ලබාගත හැකිව පැවති අපනයන ප්‍රවර්ධන අඩාලවීමට බලපෑ කරණු කිපයක් විය.
ඒ අතර තිස්වසරක් පුරා පැවති උතුරු-නැගෙනහිර යුද්ධය ඉතා අහිතකර විය. එමෙන්ම 2000 වසරින් පසුව අපනයන කේෂත්‍රය ප්‍රවර්ධනය කිරීමට පැවති අඩු අවධානය ද සෘණාත්මකව බලපානු ලැබූ බව නොරහසකි. ඒ සියල්ලේම අවසාන ප්‍රතිඵලය වුයේ කොරෝනා වසංගතය හමුවේ ලෝක සංචාරක ව්‍යාපාරය සහ විදේශ ප්‍රේෂණ ගලා ඒම් අඩාලවත්ම මෙරට ආර්ථිකය දැඩි විදේශ විනිමය හිඟයකට මුහුණ පෑවේය. එබැවින් ශක්තිමත් තිරසාර අපනයන අංශයක් ගොඩනැංවීම රට හමුවේ දැනට ඇති ප්‍රධානතම අභියෝගයකි. මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වනුයේ එම අභියෝගය ජය ගැනීමට 2026 වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැය තුළ කුමන ප්‍රතිපත්ති කෙරෙහි ප්‍රතිපත්ති සම්පාදකයන් අවධානය යොමු කළ යුතු ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමය.
ආර්ථික පරිවර්තන පනත සක්‍රිය කිරීමේ වැදගත්කම
පසුගිය වසර සඳහා අයවැය ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ දී මුදල් ඇමතිවරයා ලෙස වත්මන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශකර සිටියේ ඒ වන විටත් පාර්ලිමේන්තුවේ සම්මත වී පැවති ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි. එම පනත ගෙනඑන විට විපක්ෂයේ සිටි වත්මන් රජය ආර්ථික පරිවර්තන පනතට විරුද්ධව අධිකරණ ක්‍රියාමර්ගවලට ගිය අතර එම පනතෙන් දේශීය කාර්මීකරණයට බාධා ඇති කරනු ලබන බව කියා සිටියේය. කෙසේ වෙතත් එවැනි විසංවාදයක් යටතේ වුව එම පනත ක්‍රියාත්මක කිරීමට යොමුවීම වත්මන් රජයේ දූරදර්ශී ක්‍රියාමාර්ගයක් බව ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුවත් සමග බොහෝ දෙනට සිතිණි. එහෙත් ජනාධිපතාවරයා ලබාදුන් එම පොරොන්දුව මෙතුවක් ඉටුව ඇති බවක් පෙනෙන්නට නැත.
තව නොබෝ දිනකින් 2026 වර්ෂය සඳහා වූ අයවැය ඉදිරිපත් කිරිමට නියමිතය. ආර්ථික පරිවර්තන පනතේ අපනයනවලට අදාළව ඉලක්ක කීපයක් ඇත. ඒ අතර 2030 වන විට අපනයන අංශයේ වටිනාකම දළ දේශීය නිෂ්පාදනයේ (ද.දේ.නි.) ප්‍රතිශතයක් ලෙස සියයට 40 දක්වා වැඩි කිරීම ඉලක්කගත වන අතර 2040 වන විට එම ප්‍රතිශතය සියයට 60 දක්වා වැඩි කිරීමට ඉලක්කගත කර ඇත. ලෝක බැංකු දත්තවලට අනුව 2024 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ භාණ්ඩ සහ සේවා අපනයන දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 20ක් පමණ විය. 2024 දී මැලේසියාවේ එම අගය සියයට 71ක් වූ අතර වියට්නාමයට අදාළව භාණ්ඩ සහ සේවා අපනයන දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 86 කි. අපනයන ප්‍රවර්ධනය කිරීමට අනුගමනය කිරීමට අපෙක්ෂා කරනු ලබන උපාය මාර්ග කිපයක් පිළිබඳව ආර්ථික පරිවර්තන පනත අවධානය යොමු කර ඇත. ඒ අතර සෘඡු විදේශ ආයෝජන ඉහළනැංවීම, කාන්තා ශ්‍රම සාභාගීත්වය ප්‍රවර්ධනය, ඵලදායීතාව ඉහළනැංවීම සහ නව අපනයන වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර ගැනීම ඉලක්ක කරගනිමින් පවත්නා ද්විපාර්ෂික සහ බහුපාර්ෂික වෙළෙඳ ගිවිසුම් පුළුල් කිරීම සහ නව ගිවිසුම්වලට ඇතුළත් වීම ඒ අතර වෙයි.
එමෙන්ම නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීමට පර්යේෂණ සහ සංවර්ධන කටයුතුවලට වැඩි අවධානයක් යොමු කිරීම ද ඒ අතර වේ. ආර්ථික පරිවර්තන පනතේ ඇති වඩාත්ම වැදගත්වන තවත් යෝජනාවක් වුයේ ජාත්‍යන්තර වෙළෙඳාමට අදාළව, විශේෂයෙන්ම වෙළෙඳ ගිවිසුම් වැනි දෑ පිළිබඳ කටයුතු කිරීමට ජාත්‍යන්තර වෙළෙඳ කාර්යංශයක් (Office of International Trade) ඇති කිරීම විය. වත්මන් ගෝලීය වෙළෙඳ ආරක්ෂණවාදී පරිසරය තුළ අපනයන කේෂ්ත්‍රයට අදාළව ආර්ථික පරිවර්තන පනතේ ඇති විධිවිධාන ක්‍රියාත්මක කිරීම ලංකේය අපනයන කේෂ්ත්‍රය ප්‍රවර්ධනය කිරීමට අතිශය වැදගත් බව කිවයුතුව ඇත. පසුගිය වසරේ අයවැය කතාවේ දී 2024-2029 කාලයට අදාළව අපනයන සංවර්ධන සැලස්මක් සකස් කිරීම පිළිබඳව ද යෝජනාවක් ඉදිරිපත් වූ නමුත් එවැනි කිසිවක් සිදු වූ බවක් පෙනෙන්නට නැත. කෙටියෙන්ම පවසතොත් අපනයන ප්‍රවර්ධනයට අදාළව කිසිදු ප්‍රතිපත්තියක් 2025 වසර තුළ ක්‍රියාත්මක නොවීම කනගාටුවට කරුණකි. එබැවින් අවම වශයෙන් 2026 වසරේ දී හෝ අපනයන ප්‍රවර්ධනයට අදාළව යම් වැඩසටහනක දැඩි අවශ්‍යතාවක් පවතින බව කිවයුතුය. විශේෂයෙන්ම ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තියත් සමග ගෝලීයව ඇති වී ඇති නව වෙළෙඳ රටා තේරුම් ගනිමින් ඊට ද සාර්ථකව මුහුණ දීමට ඉහත වැඩසටහන හේතු වනවා නොඅනුමානය.
අපනයන විවිධාංගීකරණය කිරීමේ ඇති වැදගත්කම
අපනයන භාණ්ඩ සහ සේවා මෙන්ම අපනයන වෙළෙඳපොළද විවිධාංගීකරණයට ලක් කළ යුතුව ඇත. අපනයන භාණ්ඩ සහ සේවා පහළ තාක්ෂණික නිෂ්පාදන කිපයක් මත විශාල රැඳියාවක් සහිතව කාලයක් තිස්සේ පවතින අතර මෙම ගැටලුවට විසඳුම් සෙවීම කාලයක් තිස්සේ කථාබහ කළද මෙතෙක් ප්‍රමාණවත් මට්ටමේ විවිධාංගීකරණයක් සිදුව නොමැති බව ශ්‍රී ලංකාවේ අපනයන පැස පිරික්සීමේ දී පෙනි යයි. උදාහරණයක් ලෙස 2024 වර්ෂයේදී රටේ මුළු භාණ්ඩ අපනයනවලින් සියයට 40 ක් රෙදිපිළි සහ ඇඟලුම් වූ අතර සියයට 11 කට හිමිකම් කියනු ලැබුයේ තේ ආශ්‍රීත නිෂ්පාදනයි. රබර් ආශ්‍රිත අපනයන මුළු අපනයනවල ප්‍රතිශතයක් ලෙස සියයට 8 ක් විය. ඒ අනුව මුළු අපනයනවලින් සියයට 60ක පමණ ප්‍රමාණයක් භාණ්ඩ කීපයක් මත රැඳී පවතී. සේවා අපනයන පිළිබඳ අවධානය යොමු කිරිමේදී ද මෙම තත්වයට සමාන තත්වයක් පෙන්නුම් කරනු ලබයි. උදාහරණයක් ලෙස 2024 වසරේ, මුළු සේවා අපනයන ඉපයීම්වලින් සියයට 50කට ආසන්න ප්‍රමාණයකට හිමිකම් කියනු ලැබුයේ සංචාරක කර්මාන්තය ආශ්‍රත සේවා වන අතර තොරතුරු තාක්ෂණ ආශ්‍රිත සේවා අපනයන ඉපැයීම් මුළු සේවා අපනයනවලින් සියයට 12ක පමණ ප්‍රමාණයක් විය. ඒ අනුව සේවා අපනයන විශාල වශයෙන් රැඳී ඇත්තේ කෙටි කාලීනව අවදානම් තත්වයන්ට පහසුවෙන් ගොදුරු වන (vulnerable) අංශවල වේ.
භාණ්ඩ අපනයන වෙළෙඳපොළවල් පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පෙනීයන ප්‍රධානතම ගැටලුව වන්නේ ලංකේය අපනයනවලින් විශාල පංගුවක් වෙළෙඳපොළවල් කීපයක් මත රඳාපවතින බවයි. මුළු භාණ්ඩ අපනයනයෙන් සියයට 23 ක් පමණ ඇමරිකානු වෙළෙඳපොළට සපයනු ලබන අතර යුරෝපා කලාපයට මුළු අපනයනවලින් සියයට 30ක් පමණ යොමු කෙරේ. මුළු ඇගලුම් අපනයනයෙන් සියයට 40කට වැඩි ප්‍රමාණයක් ඇමරිකානු වෙළෙඳපොළට යොමු කරයි.
සංචාරකයන්ගේ පැමිණීම දෙස අවධානය යොමු කිරිමේදී ද පෙනීයන කරුණක් වනුයේ වර්තමානය වනවිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට 20කට වැඩි ප්‍රමාණයක් ඉන්දියානු සංචාරකයන් බවයි. මෑත කාලීන ගෝලීය අත්දැකීම්වලින් පෙනීයන කරුණක් වනුයේ භාණ්ඩ අපනයන මෙන්ම සේවා අපනයනවලට අදාළව ද වෙළෙඳපොළ කීපයක් මත මෙන්ම භාණ්ඩ සහ සේවා කීපයක් මත රැඳී සිටීම අනර්ථකාමී බවයි. කෙරෝනා වසංගතය, නවතම ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය මෙන්ම සංචාරකයන්ගේ තීරණවලට බලපෑම් එල්ල කළහැකි භූ දේශපාලනික හේතු සාධක මගින් අපට පෙන්වාදී ඇත්තේ අපනයන භාණ්ඩ සහ සේවා මෙන්ම වෙළඳපොළවල්ද ප්‍රමාණවත් විවිධාංගීකරණයකින් තොරව පවත්වාගෙන යාම අවදානම්කාරී වූවක් බවයි. එබැවින් අපනයන විවිධාංගීකරණයට ප්‍රමාණවත් අවධානයක් යොමු කිරීම මෙවර අයවැයේදී සිදුවිය යුතුව ඇති අතර එහිදී නව වෙළෙඳපොළ අවස්ථා උදාකර ගැනීමට නව වෙළෙඳ ගිවිසුම් කෙරෙහි කඩිනමින් අවධානය යොමු කළයුතුව ඇත. එහිදී ආසියවේ නැගීගෙන එන වෙළෙඳපොළවලට පිවිසීමට අවස්ථා ලබා ගැනීම ඒ අතරින් ප්‍රමුඛ වේ.
හිතකර ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීම
අපනයනකරුවන්ට මෙන්ම දේශීය වෙළෙඳපොළට භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන ව්‍යාපාරිකයන්ට ද එකසේ බලපාන තත්වයක් වනුයේ ඔවුන්ට කටයුතු කිරීමට සිදුවන ව්‍යාපාරික පරිසරයයි. ව්‍යාපාරික පරිසරයේ ගුණාත්මකභාවය කුමන මට්ටක පවතී ද යන්න මත ඔවුන් මුහුණදෙනු ලබන පිරිවැය තත්වය තීරණය වේ. මෙකී කරුණු ව්‍යාපාරීක පරිසරය කෙරෙහි ලබපානු ලබන අතර ඒ අතරින් ඉතාමත් වැදගත් වනුයේ ඔවුන්ට කටයුතු කිරීමට සිදුවන සාර්ව ආර්ථික පරිසරය සහ ප්‍රතිපත්ති රාමුව කුමක් ද යන්නයි. සාර්ව ආර්ථික පරිසරය තුළ උද්ධමනය, පොලී අනුපාත මෙන්ම විනිමය අනුපාතවලට අදාළ හැසිරීම් ප්‍රමුඛවන අතර ඊට අදාළ තත්වය පහසුවෙන් පුරෝකථනය කළහැකි සාර්ව ආර්ථික පරිසරයක් පවත්වාගෙන යාම වැදගත් වේ. එමෙන්ම, රජයේ ආර්ථික ප්‍රතිපත්තිවලට අදාළව සංගතබාවයක් පැවතීම මෙන්ම ප්‍රතිපත්ති අඛණ්ඩතාවක් පැවතීම ද වැදගත් වේ.
ව්‍යාපාරික පරිසරය කෙරෙහි බලපානු ලබන අනෙක් ප්‍රධානතම සාධකය වන්නේ රාජ්‍ය ආයතන මගින් ලබාදෙන සේවාවල කාර්යක්ෂමතාව වේ. විශේෂයෙන්ම, කර්මාන්ත සහ අපනයන කේෂ්ත්‍රය සමග සෘඡුවම සම්බන්ධවන රාජ්‍ය ආයතන කාර්යක්ෂමව තම සේවා ලබාදීමෙන් අපනයනකරුවන්ගේ තරගකාරීත්වය ඉහළනැංවිය හැකිය. අපනයන සහ ආයෝජන ක්ෂේත්‍රයේ රජය විසින් ලබාදෙනු ලබන සේවාවල කාර්යක්ෂමතාව ඉහළනැංවීම ඉලක්ක කරමින් රජය විසින් යෝජනා ගණනාවක් පසුගිය අයවැය මගින් යෝජනා කළ අතර ඉන් සමහරක් දැනට ක්‍රියාත්මක කර පවතී. එමෙන්ම රජය ඩිඡිටල්කරණය පිළිබඳව ද පසුගිය අයවැයෙන් අවධානය යොමු කරනු ලැබිණි. එම යෝජනා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම මෙන්ම තවදුරටත් රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කිරීමට අවශ්‍ය වන්නාවූ වැඩසටහන් හඳුන්වාදීම ඉදිරි අයවැයේ අඩංගු විය යුතුව ඇත.
විශේෂයෙන්ම, රජය විසින් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වේ. එම ප්‍රතිසංස්කරණවල නිෂ්පාදන සාධක වෙළෙඳපොළවල්, ඉඩම්, ශ්‍රමය, සහ ප්‍රාග්ධනයට අදාළව, ලිහිල්කරණය කළ යුතුව ඇත. ශ්‍රම ඵලදායීතාව සහ සාභාගීත්වය වර්ධනය කිරීමට ශ්‍රම වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ ඉතා වැදගත් වේ. ලංකේය ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයට අහිතකරව බලපානු ලබන කරුණු මොනවාද යන්න විමර්ශනය කරනු ලැබූ අධ්‍යයන කීපයක්ම පෙන්වාදී ඇති විශේෂිත කරුණක් වන්නේ ආයෝජන සඳහා ඉඩම් ලබාගැනීමට අදාළව පවතින ගැටලුකාරී තත්වය වේ. ඉඩම් සම්බන්ධයෙන් 1970-90 දශකවල පැවති රජ්‍ය ප්‍රතිපත්තිය නව අවශ්‍යතාවලට අනුකූලව වෙනස් විය යුතුය. ඉඩම් හුදු ජිවනෝපාය සහතික කිරීමේ අරමුණින් ඉවත්ව සංවර්ධනය අරමුණුකර භාවිතය දිරිගැන්විය යුතුවේ. ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කරමින් අධ්‍යාපනය, කෘෂිකර්මය, සහ පොදු ප්‍රවාහනය වැනි ක්ෂේත්‍ර දක්වා ප්‍රවර්ධනය කළයුතුව ඇත. ඉහත කී ප්‍රතිසංස්කරණ පිළිබඳ වූ යෝජනා ඉදිරි අයවැය තුළ ඉදිරිපත් කළ යුතුව ඇත.
තාක්ෂණය සහ නවෝත්පාදනය දිරිගැන්වීමේ වැදගත්කම
ලෝක බැංකු දත්තවලට අනුව, මධ්‍යම සහ ඉහළ තාක්ෂණික භාණ්ඩ අපනයන (medium-and high-tech exports), ශ්‍රී ලංකාවේ මුළු කාර්මික භාණ්ඩ අපනයනවලට සාපේක්ෂව සියයට 10ක් පමණ වේ. එම අගය 1990 මුල් කාලයේ දී සියයට 5-6 අතර මට්ටමක පැවතිණි. මධ්‍යම සහ ඉහළ තාක්ෂණික භාණ්ඩ අපනයන, මුළු කාර්මික අපනයනවලට සාපේක්ෂව, මැලේසියාවට අදාළව සියයට 63 ක් වන අතර වියට්නාමට අදාළව සියයට 57 කි. මෙම දත්තවලින් ප්‍රකාශ වන මූලික කරුණ නම් ශ්‍රී ලංකවේ අපනයනවලින් වැඩි ප්‍රතිශතයක් තවමත් පහළ තාක්ෂණික සහ ප්‍රථමික භාණ්ඩවලින් සමන්විත වන බවයි. මධ්‍යම සහ ඉහළ තාක්ෂණික අපනයන භාණ්ඩවලට අදාළව ඇති ඉල්ලුම අනම්‍ය වන අතර ඒ නිසාම අපනයන ඉපයීම්වලට උච්චාවචනය වීම් සිදුවන්නේ සීමිතව වේ. ලංකාව තිරසාර අපනයන අංශයක් ගොඩනැංවීම සඳහා මධ්‍යම සහ ඉහළ තාක්ෂණික භාණ්ඩ අපනයන ප්‍රවර්ධනය කළ යුතු වේ. ඒ සඳහා අපනයන ක්ෂේත්‍රයේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු දිරිගැන්විය යුතුවේ. නව තාක්ෂණය ලබාගැනීමේහිලා විදේශ ආයෝජන බෙහෙවින් වැදගත්වේ. එසේම රජය ද විද්‍ය සහ තාක්ෂණික අංශවලට කරනු ලබන වියදම් වැඩිකිරීම අත්‍යවශ්‍ය වේ. කාර්මික නිෂ්පාදන කේෂ්‍ත්‍රයට අදාළ තාක්ෂණික පහසුකම් සැපයීමට රාජ්‍ය ආයතන කිපයක් පැවතියත් විවිධ ගැටලු හේතුවෙන් කර්මාන්තකරුවන්ට අවශ්‍ය කෙරෙන තාක්ෂණික සහාය ඒවා හරහා නොලැබෙන බව අසන්නට ලැබෙන කරුණකි. එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම කළයුතු වන අතර ආර්ථික පරිවර්තන පනත තුළද ඒ සඳහා යෝජනා ඇතුළත්ව පැවතිණි. තාක්ෂණ සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම කෙටිකාලීනව සිදුකළ හැක්කක් නොවන අතර දිගුකාලීන දැක්මක් සහිතව ඒ සඳහා යොමු වීම ඉදිරි අයවැයේ සිදුකළ යුතුවේ.
ශක්තිමත් අපනයන අංශයක් ගොඩනැංවීමකින් තොරව ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින කුඩා ආර්ථිකයන්ට අර්ථික වර්ධනය සහ සංවර්ධනය පිළිබඳ කල්පනා කිරීමේ හැකියාවක් නැත. එසේම, ණය ආපසු ගෙවීම පිළිබඳ අවධානය යොමු කිරීමේදී ද අපනයන ප්‍රවර්ධනය අත්හළ නොහැකි අංගයක් වේ. අපනයන ප්‍රවර්ධනය පසුගිය වසර තුළ වචනවලට පමණක් සීමාව පැවතිණි. එය වෙනස්විය යුතුව පවතී. 2026 වසර සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැය අපනයන ප්‍රවර්ධනය ප්‍රමුඛකරගත් එකක් වීම අත්‍යවශ්‍ය වේ. ඉහතින් පෙන්වා දෙනු ලැබුයේ 2026 වසරේ අයවැයේ අවධානය යොමු කළ යුතු අංශ කිපයකි. වඩාත්ම ප්‍රශස්ථ ප්‍රවේශය වන්නේ ජාතික සංවර්ධන සැලස්මක් තුළ අපනයන අංශයේ ප්‍රවර්ධනය සලකා බැලීමය.