2023 දී ඩො .බි .10 ක සංචාරක ආදායමක් උපයන්න පුළුවන්


THASL හි සභාපති අශෝක හෙට්ටිගොඩ

THASL හි හිටපු සභාපති එම්. ශාන්තිකුමාර්

THASL හි කමිටු සාමාජික සන්ජීව ඇන්තනි

  • වාර්ෂික සංචාරක පැමිණීම් සියයට 20කින් සහ වියදම් කිරීම් සියයට 30කින් ඉහළ 
  • නැංවීම අනිවාර්යය බව පවසයිමෙම ඉලක්කය සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 50 කට වැඩි ගෝලීය සංචාරක ප්‍රවර්ධනයක් අත්‍යවශ්‍යයි
  • අතරමැදි සංචාරක ප්‍රවර්ධනය යටතේ චීනය, ඉන්දියාව, චීනය, ඔස්ට්‍රේලියාව සහ නැගෙනහිර ආසියාව ඉලක්ක කර ඩිජිටල් ප්‍රවර්ධනයක්
  • ප්‍රවර්ධනය සිදු වුණොත් 2026 දී ලක්ෂ 25ක සංචාරක පැමිණීමක් සහ ඩො. බි. 3.3 ක ආදායමක්

භානුක අමරසිංහ


මෙරට සංචාරක කර්මාන්තය හරහා ලබන ආදායම වසර 2030 වන විට ඩොලර් බිලියන 10ක තත්වයට පත් කිරිමට කර්මාන්තකරුවන්ට හැකියාව පවතින බව ශ්‍රී ලංකා හෝටල් සංගමය (THASL – The Hotels Association of Sri Lanka) පවසයි. 

ඒ අනුව මෙය රජය 2030 වසර සඳහා ලබා දී ඇති සංචාරක ආදායම් අපේක්ෂාව වන ඩොලර් බිලියන 8 ටත් වඩා තවත් ඩොලර් බිලියන 2ක් බව සංගමයේ සභාපති අශෝක හෙට්ටිගොඩ මහතා සඳහන් කරයි. කෙසේ වෙතත් ළඟා කරගත හැකි මෙම ඩොලර් බිලියන 10ක සංචාරක ආදායම වෙනුවෙන් රජය ඉදිරියේදී කර්මාන්තය උදෙසා කටයුතු රැසක් සිදුකළ යුතුව ඇතැයිද ඒ මහතා අවධාරණය කරයි.

වසර 2030 දී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් ශ්‍රී ලංකා හෝටල් සංගමය ඉදිරිපත් කරන යෝජනා සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඊයේ (12) කොළඹදී පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මෙම අදහස් පළ කළේය.

“ලංකාවට ණය දෙන ආයතන පවා පවසලා තිබෙනවා ලංකාවේ අනාගතය තමයි සංචාරක කර්මාන්තය කියලා. මෙය පහසුවෙන් දියුණු කරගත හැකි ව්‍යාපාරයක්. 2024 හා 2025 සංසන්දනය කරන කොට සංචාරකයන් සියයට 15.1 ක් වැඩි වුණත්, ආදායම වැඩි වුණේ සියයට 1.6 යි. 2026 ජනවාරි මාසයේ වුණත් සංචාරක පැමිණීම් සියයට 23 කින් ඉහළ ගියත් ආදායම සියයට 6 කින් අඩුවෙලා. ඒ කියන්නේ අනාගතයේ යම් අවදානමක් තිබෙනවා. ඒත් ශ්‍රී ලංකා හෝටල් සංගමය විදියට අපි විශ්වාස කරනවා අපිට 2030 දී ඩොලර් බිලියන 10ක ආදායමකට යන්න පුළුවන් කියලා.“  

එහිදී වාර්ෂිකව සංචාරක පැමිණීම්හි සියයට 20ක වර්ධනයක් අත්පත් කරගැනීම සහ සංචාරකයන් එක් දිනකට ලංකාව තුළ වියදම් කරන මුදල සියයට 30කින් ඉහළ නැංවීම අනිවාර්යය බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

“මේ සංචාරක වර්ධනය හිමි කරගැනීමට නම් මුලිකවම අපි වාර්ෂිකව ඩොලර් මිලියන 50 කට වැඩි ගෝලීය සංචාරක ප්‍රවර්ධනයක් සිදු කළ යුතුමයි. එතැනදී සාම්ප්‍රදායික සංචාරක ස්ථානවලට වඩා අලුත් තැන් සොයා ගත යුතුයි. ඒවා ඉහළ වියදම් කිරීමේ හැකියාවක් සහිත සංචාරකයන්ට ගැළපිය යුතුයි. තිරසාරත්වයත් එතැනදී ප්‍රධානයි. ඒ හරහා ලංකාව ලොව හොඳම තිරසාර සංචාරක ගමනාන්ත පහ අතරට ගෙන යා හැකියි.“

ඒ අනුව මෙම ගෝලීය සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් THASL සහ SLAITO එක්ව බලධාරින් හා සාකච්ඡා කළ බවත් අනාවරණය විය. එහිදී මූලිකව අතරමැදි සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම සහ ගෝලීය සංචාරක අලෙවිකරණ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.

“එතැනදී මාස හයත් - අටත් අතර කාලයේදී දියත් කරන ගෝලීය සංචාරක ප්‍රවර්ධනයක් පිළිබඳව එකඟ වුණා. ඒ අතරතුර ප්‍රවර්ධන ව්‍යාපාරයක් විදියට ඩිජිටල් ප්‍රවර්ධනයක් සිදු කරන්න යෝජනා වුණා. ඉන් ඉන්දියාව, චීනය, ඔස්ට්‍රේලියාව සහ නැගෙනහිර ආසියාව ඉලක්ක කෙරෙනවා. එය ලබන මාස දෙක තුළදී දියත් කෙරෙනවා.“ යනුවෙන් ද සභාපති අශෝක හෙට්ටිගොඩ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

මේ අතර මැදපෙරදිග යුද ගැටුම් තත්ත්වය හේතුවෙන් 2026 දීද ලක්ෂ 23කට වැඩි සංචාරකයන් පිරිසක් බලාපොරොත්තු විය නොහැකි බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය. එය 2026 වසර සඳහා ලබාදී තිබූ ලක්ෂ 30ක පුරෝකතනයට වඩා ලක්ෂ හයක අඩුවීමකි.

“ඩොලර් මිලියන 1.3 ක වියදමකින් සැලසුම් කරලා තිබෙන මේ අතරමැදි සංචාරක ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වුණොත්, මේ වසරේ ලක්ෂ 25ක සංචාරකයන් පැමිණීමක් සිදු වෙලා ඩොලර් බිලියන 3.3 ක ආදායමක් හිමි කරගැනීමට හැකිවේවි.“

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් දියුණු කිරීම වෙනුවෙන් මෙම වසර අගදී හෝ ලබන වසර මුලදී ගෝලීය සමුළුවක් සංවිධානය කිරීමටත් THASL බලාපොරොත්තු වන බවත්, එය ආයෝජන සමුළුවක් බවට පත් කරගැනීමත් අපේක්ෂාව බව සභාපතිවරයා මෙහිදී පවසා සිටියේය.

මේ අතර දැනට රට තුළ සංචාරක සංවර්ධන අධිකාරියෙහි ලියාපදිංචි නොවී අවිධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක කෙරෙන හෝටල් ඇතුළු ස්ථාන 20,000 කට වැඩි ප්‍රමාණයක් තිබෙනබවත්, ඒ අතර හෝටල් කාමර 50,000 ක් පමණ තිබෙන බවත් මෙහිදී අනාවරණය විය. ඒ අනුව මෙම අවිධිමත් සංචාරක පහසුකම් සපයන ස්ථාන විධිමත් ආකාරයට පත් කරමින්, ඔවුන්ද රජය වෙත බදු ගෙවන ව්‍යාපාර බවට පත් කරමින් සංචාරක කර්මාන්තය එක හා සමාන මට්ටමට පත් කිරිමත් අරමුණ බව සභාපතිවරයා සඳහන් කළේය.

“අපි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා මේ සම්බන්ධව කටයුතු කරගෙන යනවා. එතැනදී උදාහරණයක් විදියට අපි අන්තර්ජාල ඩිජිටල් වේදිකා හරහා හෝටල් වෙන් කරගැනීමේදී ලියාපදිංචි හෝටල් වෙත පමණක් ඒ අවස්ථාව ලබාදීමට අපි යෝජනා කර තිබෙනවා.“

මේ අතර සංචාරක හෝටල් සතු මත්පැන් හල් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී අයකරන බදු ප්‍රතිශතයද මේ වසරේ පෙබරවාරි මාසයේ නිකුත් වූ ගැසට්ටුවක් මගින් අසාධාරණ ලෙස ඉහළ දැමීමත් සිය මෙහෙයුම් පවත්වාගෙන යාමට බාධාවක් එල්ල කර ඇතැයි මෙම මාධ්‍ය හමුවට එක් වූ THASL හි කමිටු සාමාජික සන්ජීව ඇන්තනි මහතා සඳහන් කළේය.

“සාමාන්‍යයෙන් මත්පැන් ශාලාවක් පවත්වාගෙන යන සංචාරක හෝටලයක් ලබාගත යුතු බලපත්‍ර තුනක් තිබෙනවා. F7, F8 සහ F11 ලෙස සඳහන් වන මෙම බලපත්‍ර අලුත් කර ගැනීමේදී බලපත්‍ර ගාස්තුව වගේම, දැන් තැන්පතු ගාස්තුවකුත් අය කරනවා. ඒ හරහා එම ගාස්තු මේ වනවිට පිළිවෙලින් සියයට 80 කින්, සියයට 100කින් සහ සියයට 60කින් ඉහළ ගිහින්. මේ තැන්පතු ගාස්තුව ආපසු ගන්න නම් මත්පැන් ශාලාව වහන්න ඕනේ. හෝටල් කියන්නේ රජයට සියයට 25ක බදු ගාස්තුවක් වගේම, සේවකයන්ට සියයට 10ක සේවා ගාස්තු ගෙවන සමාගම්.“

ඒ අනුව මෙවැනි ඉහළ පිරිවැයක් යටතේ මෙහෙයුම් පවත්වාගෙන යාමට නම් අනිවාර්යයෙන්ම සංචාරකයන්ගෙන් අය කරන ගාස්තු ඉහළ දැමීමට සිදු වන බවත්, එය කලාපයේ අනෙකුත් සංචාරක ගමනාන්ත හා තරග කිරීමේදී අවාසියක් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

මෙහිදී අදහස් දැක්වූ THASL හි හිටපු සභාපති එම්. ශාන්තිකුමාර් මහතා, ලංකාවේ නීතිය අනුව නත්තල, අලුත් අවුරුද්ද, රාමසාන් පොංගල් දිනය ඇතුළු නිවාඩු දිනවලදී හෝටල් තුළ මත්පැන් ශාලා වසා දැමීමත් සංචාරකයන් අධෛර්යට පත් කරවන්නක් බවද, මෙම ආදායම් ඉලක්කය සඳහා යාමේදී ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇතැයිද පෙන්වා දුන්නේය..


ඡායාරූප : රුවන් වල්පොළ