ජාත්යන්තර රොටරි සංවිධානය විසින් ‘රොටරි ඉන්ස්ටිටියුට් 2026’ සම්මේලනය කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ සඳහා දකුණු ආසියාවේ දිස්ත්රික් ආණ්ඩුකාරවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන් සහ පෞද්ගලික අංශයේ ජ්යෙෂ්ඨ ව්යාපාරිකයන් ඇතුළු 1,000 කට අධික සාමාජිකයන් පිරිසක් සහභාගී වීමට නියමිතය.
මෙම සම්මේලනයට ජාත්යන්තර රොටරි සංවිධානයේ ලෝක සභාපති යින්කා බැබලෝලා (Yinka Babalola) එක්සත් ජනපදයේ ජාත්යන්තර රොටරි සංවිධානයේ ප්රබල නායකයන් සහ ඉන්දීය ආයතනික ක්ෂේත්රයේ නියෝජිතයන් රැසක් සහභාගී වන බව රොටරි ඉන්ස්ටිටියුට් නිල නිවේදනයේ සඳහන් වේ.
විදේශයන්ගෙන් පැමිණෙන ප්රමුඛ පෙළේ ව්යාපාරිකයන් වන මෙම නියෝජිතයන්ගෙන් බොහෝ දෙනෙක් ශ්රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය වන අතර, එය අප මග නොහැර ගත යුතු විශාල අවස්ථාවක් බව ‘රොටරි ඉන්ස්ටිටියුට් 2026‘ හි සභාපතිනි ගෞරි රාජන් මෙනවිය පැවසුවාය. ඇය ශ්රී ලංකාවේ ප්රථම මානව හෘද කපාඨ බැංකුව (Human Heart Valve Bank) ලේඩි රිජ්වේ ළමා රෝහලේ පිහිටුවීම සඳහා රුපියල් මිලියන 120 ක අරමුදල් සපයා ගැනීමට පුරෝගාමී වූ තැනැත්තියකි.
ශ්රී ලංකාවේ සංචාරක ව්යාපාරය සහ ආයෝජන පෞද්ගලික අංශය සමග සම්බන්ධ විය යුතු අතර, සංචාරක ව්යාපාරය සහ උපායමාර්ගික සමාජ සේවා කටයුතු (Strategic Philanthropy) අපගේ ප්රධාන න්යාය පත්රය වනු ඇති බව රාජන් මෙනවිය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවාය.
රොටරි සංවිධානයෙහි මෙම සුවිශේෂී උත්සවය කොළඹ පිහිටි ‘සිටි ඕෆ් ඩ්රීම්ස්’ (Cinnamon Life) හිදී පැවැත්වෙන අතර, පූර්ව සම්මේලන, සම්මන්ත්රණ වැඩසටහන් කළුතර අනන්තාරා හෝටල් පරිශ්රයේදී පැවැත්වේ.
සංවිධායකයන් විසින් නියෝජිතයන් සඳහා කාමර රාත්රී (Room-nights) 1,400 ක් වෙන් කරගෙන ඇත. තෙදින නායකත්ව සාකච්ඡා සහ ඉලක්කගත ජාලකරණ අවස්ථා හරහා ගෝලීය ක්රියාකාරකම් සහ විශිෂ්ට දේශන ඉදිරිපත් කෙරෙන අතර, එමගින් ශ්රී ලංකාවේ තිරසාර සංචාරක සංවර්ධනය, පෞද්ගලික ආයෝජන සහ සමාජ සේවා ක්රියාකාරිත්වයන් ප්රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ සඳහන් වේ.
ආරම්භක උත්සවයේ ප්රධාන ආරාධිතයා ලෙස අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වනු ඇත.

