
මානවසිංහ කෝම ද බං මීමනට
ඌටත් තියෙන්නෙ ම නාගෙන එන ගැහැට
මීරස කවිය දාගෙන පොල් කටුවකට
මීරා බොන්න කැමතිලු ඌ වහිනකොට 
 
මානවසිංහ මහබෝ වන්නම ලිව්වේ
පන්හිඳ තුඩිනි කොළඹට දේදුනු නැව්වේ
විසකුරු නාගයන්ටත් අඳුකොළ කැව්වේ 
සඳකඩපහණ මිරිකා මව්කිරි බිව්වේ
 
රයිගම් කෝරළේ හැම තැන යකා නැටූ
කවියා මමයි බල්ලෝ තෝ නොකා හිටූ
කියමින් එදා රාසින් පැන්නාට කොටූ 
කවිය ම හැරී මීමනට ම බඹා කෙටූ
 
ගොඩ මඩ දෙක ම සරුසාර ය පලබර ය
සාගර පලන්සූරිය ගම අඬහැරය
දාගෙන දෙකක් තිව්ව ම කවි වෙඩිමුරය
ඒ කවි මැදින් ගලනා දුක මනහරය
 
කෑවත් අඟුරු අළු යට ගිනියමෙන් සැදූ
බෝසත් හැඟුම් ගඟ ජීවිතයෙන් ම පිදූ 
හාමත් සිතින් ළතැවුල් මිරිකමින් වැදූ
තාමත් ගලයි කේයස් ගේ සුදෝසුදූ
 
කුමාරගම ලිව්ව ම වන්නිය ලෙළවා
නියත යි අයියනායක දෙයියොත් බැලුවා
කාවයියන්ගෙ අඹුවන් උඩුබැලි කරවා 
ඒ කවි ගමේ ඇළ දොළ වතුරේ ගැලුවා 
 
මිනී කපන හේරත් හාමිගෙ පපුව
පළා නැඟෙන බෝසත් ගුණකඳ දුටුව
ළයේ උපන්නෙ ම මනුසත් කවි මතුව
අනෝතත්ත විල පියුමක රුව මුසුව 
 
කෝ බං කුඩලිගම ළඟක දි දැක්කෙ නැත
මනරම් කවක් ලිව්ව ම ඌ සද්ද නැත 
ඒ කවි ගලා යන විට ලිය මඬුලු වෙත
සියොතුන් මත් ව වැටුණලු කඩදාසි මත 
 
අල්විස් පෙරේරා කවි කිව්වොත් නැවතී
කිඹුලන් පවා කොටහළු වන බව කියතී
කිතුලට නඟින උදවිය ගහ මුල නැවතී
කවියෙන් කවිය බී ගහ මුල චූ කරතී
 
පොල්කටුවකින් බොන කවියක රහ වැඩිවී
මින්දද පවා සෙලුවෙන් දිව්වලු වෙරිවී
සිල්පර පෙඟෙනකොට උක් පැණියෙන් නැහැවී
දුම්රිය පීලි පැන්නලු පීලි ද ඇදවී
 
ඉස්ටේසමට ඒ කවි රස දැනුණාම
එන්ජින් ඔයිල් කිරිපල්ලෙන් එයි තාම
සංඥා පුවරුවට එළිවැට පෙනුණාම
සිග්නල් කෙළින් වෙනවලු කණු තෙමුණාම
 
කවියෙන් බඹර වද පිරෙනා මහිම බලා
වන බඹරුන්ගෙ ඊ සී ජී අවුල් වෙලා
ඇඳිවත ලිහෙනකොට කවි රස දෙගොඩ තලා
රණ මොනරුන් ද පිල් කලඹත් උකස් කළා
 
කොළඹින් ගැලුව කවියක අම රස වින්ද
මීමැස්සන්ට අමතක විය මකරන්ද
එළිවැට දිගේ උන් තරගෙට මී බැන්ද
බිඳුනලු දවල් බකමූණන්ගෙත් නින්ද
 
කපුටෝ සුවඳ විලවුන් සියොළඟෙහි උලා
වෙනදා ගිලින කුණු ඉඳුලට විහිළු කළා
පිරිකර කඩේ දැලිපිහි කළුගලක උලා
එළුවෝ රැවුල කැපුවෝ කැඩපතින් බලා 
 
මානවසිංහගේ කෝමල කවිය බලා
සෝඩා ටොනික් යයි බේරේ වැවට ගලා
මානෙල් නෙලුම් පීදී ඇත ඔකඳ වෙලා
සෝඩා බොමින් දිය කිඳුරන් නටනු බලා
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1926										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1534										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 535										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
කොළඹ කවියෝ සොඳුරු සාදෙක